දරුවකු බිහිකිරීමේදී වේදනා අඩු කරන එපිඩියුරල් ක්‍රමය

Hits: 86808 times

ඔබ දන්නවාද ඔබේ මව ඔබ මෙලොවට බිහි කිරීමට දැරූ වේදනාව? එය මුළු සිරුරේම ඇති අස්ථි එක වර බිඳ දමන මොහොතක දැනෙන වේදනාවටත් වඩා දරුණු බව කියවෙනවා. ඉතින් ඒ වේදනාව අද කාලයේ සමහර තරුණියන් දරන්නට අකමැතියි. ඒ නිසා විය හැකියි බොහොමයක් දෙනා අද සාමාන්‍ය දරු උපතක් සිදු කිරීමේ හැකියාව තිබුනත් රෝහලට ගෙවීමට හැකියාවක් ඇතිනම් සිසේරියන් සැත්කම වෙත යොමු වන්නේ. නමුත් ඇතැම් වෛද්‍ය වරුන් පවසන්නේ අනවශ්‍ය ලෙස ශල්‍යකර්ම වලට භාජනය නොකර නිර්වින්දන ඖෂධ මගින් වේදනාව අඩු කර "එපිඩියුරල් ක්‍රමයට" දරුවන් බිහි කල හැකි බවයි.

* එපිඩියුරල් ක්‍රමය යනු කුමක්ද?

මෙහිදී සිදුවන්නේ මවගේ පිට කොන්දේ පහල කොටසට නිර්වින්දන ඖෂධයක් එන්නත් කිරීමෙන් වේදනාව සමනය කර දරුවා බිහි කිරීමයි. ඉතාම සියුම් ඉඳිකටුවක් ඔබේ කොඳු ඇට පෙළ අතරින් ඇතුළු කර, ඒ හරහා ඉතා සියුම් බටයක් (කැතීටරයක්) ඇතුළු කර ඉඳි කටුව ඉවත් කෙරේ. ඉන්පසු ඉහත සඳහන් කල කැතීටරය අගට සම්බන්ධ කල බටයක් තුලින් අදාළ බෙහෙත් වර්ග ඇතුළු කරනු ලැබේ. මෙය සිදු කරන තුරු ඔබ නිශ්චලව සිටිය යුතුය. හොඳම ක්‍රමය වන්නේ හුස්ම ඉහල පහල යෑම ගැන අවධානය යොමු කරමින් භාවනාවක් ලෙස සිටීමත්, ඔබේ ස්වාමි පුරුෂයා හෝ වෙනත් අයෙකු ඔබ ළඟ සිට ඔබව පහසු කිරීමත්ය.

 

මෙසේ බෙහෙත් වර්ග එම නලය තුලින් ඇතුල් කල විට ඔබේ ගර්භාෂයේ සහ ගැබ් ගෙලෙහි සිට මොළයට පණිවුඩ ගෙන යන ස්නායු තාවකාලිකව අඩපන කරයි. සමහර අවස්ථාවල මෙය සිදු කරන විට කකුල් වල ඉඳි කටු ඇනෙන ලෙස දැනීමක් ඇතිවේ. මෙසේ වුවහොත් වහාම වෛද්‍ය වරයාට කියන්න. එසේ සිදු වන්නේ එපිඩියුරල් ඉඳි කටුව නිසි ලෙස ස්ථාන ගත වී නැති නිසාය. 

 

* එපිඩියුරල් එන්නත් ලබා දෙන්නේ කුමන අවස්තාවකද?

අප ඉහත කී පරිදි ඔබ එපිඩියුරල් ක්‍රමයට දරු උපතක් සිදු කිරීමට සූදානම් නම් සහ සුදුසු කම් ලැබුවා නම්, ඔබට දරුවා බිහි කිරීමට පෙර දැනෙන වේදනාවන් දැනෙන විට එන්නත ලබා දීමට සුදුසු වෙලාව ලං වන බව වෛද්‍ය වරුන් හඳුනා ගනීවි. දල වශයෙන් ගැබ්ගෙල අඟල් 2ත් 3ත් අතර ප්‍රමාණයකට ප්‍රසාරණය වන විට මෙම එන්නත ලබා දෙයි. නමුත් ඔබේ දරු උපත වේගවත් කිරීමට භාවිතා කරන "සින්ටෝසිනොන්" නමැති ඖෂධය ඔබට දී ඇතිනම් ඔබට මෙම වේදනා නාශක / නිර්වින්දන ඖෂධ අවශ්‍ය විය හැක. එයට හේතු වන්නේ සින්ටොසිනොන් මගින් ඔබේ මාංශ පේශි හැකිලීම් වැඩි කරන විට වේදනාවත් වැඩිවන නිසාය. වේදනාව සමනයට අමතරව, එපිඩියුරල් ක්‍රමය නිසා ඔබේ රුධිර පීඩනය අධික නම් එය පාලනය කිරීමත් සිදුවේ.

* එපිඩියුරල් ක්‍රමය නිසා උපදින දරුවාට බලපෑමක් ඇති වෙයිද?

මෙම ක්‍රමය අනුගමනය කරන විට ඔබේ රුධිර පීඩනය පහත වීමට ඉඩ ඇත. එවිට දරු ගැබට ඔක්සිජන් වායුව ලැබීම අඩුවේ (එය සපයන්නේ ඔබේ රුධිර පද්ධතිය හරහා නිසා). තවද එපිඩියුරල් සඳහා ලබා දෙන එන්නත් ප්‍රමාණය වැඩි වූ විට දරුවාගේ හුස්ම ගැනීම අඩු වීම, දරුවා නිද්‍රාවට පත් වීම ආදියත් සිදුවේ. නමුත් සුදුසුකම් ලත් වෛද්‍ය වරුන් මෙය නිසි ලෙස පාලනය කරන නිසා ඔබ බිය විය යුතු නැත. එපිඩියුරල් ක්‍රමය භාවිතා කිරීමට පෙර ඔබේ අතට හෝ පිට අත්ලට බටයක් සම්බන්ධ කර තබනු ඇත. එමගින් ඔබේ ශරීරයට හදිසියේ අවශ්‍ය වුවහොත් එය තුලින් රුධිරයට බෙහෙත් වර්ග ඇතුල් කරනු ඇත

* එපිඩියුරල් ක්‍රමයේ ඇති අභියෝග මොනවාද?

මවු වරුන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණ මෙම එන්නත නිසි පරිදි ක්‍රියා නොකරන අතර ඔවුන්ගේ උදරයේ කොටසක් පමණක් හිරි වැටීම සිදුවේ. එවිට අමතර වේදනා නාශක සහ නිර්වින්දක අවශ්‍ය විය හැක. එපිඩියුරල් නාලය හරහා නිර්වින්දක ඇතුල් කර පැය භාගයක් යන තුරුත් අදාළ ප්‍රදේශයේ වේදනා දැනීම නවතින්නේ නැතිනම් වෛද්‍ය තුමන්ට/තුමියට දැනුම් දෙන්න. එවිට ඔවුන් වැඩිපුර නිර්වින්දක දෙනු ඇත.

ස්නායු වලට හානි පැමිණීමේ අවදානමක් ඇති නමුත් එය සිදුවන්නේ ඉතාම කළාතුරකිනි.

* එපිඩියුරල් ක්‍රමය සුදුසු කවුරුන් සඳහා ද?

ඔබ සාමාන්‍ය දරු උපතකට සුදුසුකම් ලබනවා නම්, නමුත් වේදනාකාරී අත්දැකීමෙන් මිදීමට සිතනවානම් මෙම ක්‍රමය ඉතා ප්‍රයෝජනවත්.  නමුත් සියලු මවු වරුන්ට එපිඩියුරල් ක්‍රමය ගැලපෙන්නේ නැහැ. එනිසා ඔබ ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබාගෙන ඔබට එම ක්‍රමය ගැලපෙනවා නම් (එම ක්‍රමය නොකිරීමට සිදුවන සෞඛ්‍ය ගැටළු නැති නම්) එයට අවසර දෙනු ඇති.

මෙම ලිපියෙන් ඔබ දැනගත් කරුණු අනුව ඔබටත් පුළුවන් සිසේරියන් සැත්කමකට යාමට පෙර වෛද්‍ය වරයාගෙන් ඔබ මෙම ක්‍රමය අනුගමනය කිරීමට සුදුසුකම් ලබනවාද යන්න ඇසීමට. වෛද්‍ය නිර්දේශය ලැබේ නම්, ඔබේ සමේ කැපුම් සිදු නොකරන, වේදනාව අඩු දරු උපතකට මෙය හොඳ විසඳුමක්.

.................

 

Article Verified by: Dr (Mrs) Kaushalya Mendia

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................

Brought to you by: Pears Happy Baby Learning Center

.................

Related Articles

Caesarean Section

 

What are symptoms that show i have to go to hospital?

 

What Are The Lists Of Items To Take To Hospital?

HBLC

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook