සිසේරියන් සැත්කමෙන් පසු නිවසේදී....

Hits: 20432 times

සිසේරියන් සැත්කමකට භාජනය වූ ඔබ නිවසට පැමිණි පසු ඔබට නොයෙකුත් අයගෙන් විවිධාකාර උපදෙස් ලැබෙනු නොඅනුමානයි. “තුවාලය සනීප වන තුරු නාන්න එපා”. “බර උස්සන්න එපා”. “උෂ්ණ කෑම කන්න එපා”. මෙවැනි නොයකුත් උපදෙස් ලැබෙනු ඇත.සිසේරියන් සැත්කමකට භාජනය වන ඔබ නිවසට පැමිණි පසු ඔබ කයුත්තේ මොනවාද? නොකළ යුත්තේ මොනවාද? ඒ ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කරමු...

සිසේරියන් සැත්කම යනු කුමක්ද?

සිසේරියන් සැත්කම යනු උදරයේ පහළ කොටසේ හරහට කැපුමක් යොදා සිදුකරන සැත්කමකි. දැනට වසර තිහකට හතළිහකට පෙර මෙම සැත්කම, නාභියේ සිට පහලට කැපුමක් යොදා සිදුකරන ලද අතර දැන් සිසේරියන් සැත්කම එවැනි කැපුමක් යොදා සිදුකරන්නේ අතිශයින් කලාතුරකිනි. සැත්කම අවසානයේ එම කැපුම ඇති තැන මැස්මක් යොදනු ඇත.

මැහුම් වලට මොකද කරන්නේ?

බොහෝ අවස්ථා වලදී ඔබේ හමට යොදනුයේ දියවී යන මැහුම් වනු ඇත (Absorbable Sutures). සමහර වෛද්‍යවරුන් සම යාකිරීමට ක්ලිප් වර්ගයක් (Skin Staplers) භාවිතා කරනු ඇත. තවද කලාතුරකින් දියනොවන මැහුම් (Non-absorbable Sutures) භාවිතා කරනු ඇත. ඔබේ හමට යොදා ඇත්තේ කුමක්ද යන වග වෛද්‍යවරයාගෙන් හෝ එම කාර්යමණ්ඩලයෙන් අසා දැනගන්න. දියවන මැහුම් භාවිතා කර තිබුණහොත් ඒවා කැපීමට අවශ්‍ය නොවේ. ක්ලිප් වර්ග හෝ දිය නොවන මැහුම් භාවිතා කර තිබුණහොත් ඒවා දින දහයකට පසු ගැලවිය හැක. මැහුම් කැපීමේදී වේදනාවක් ඇති නොවේ. ක්ලිප් ගැලවීමේදීද කිසිම වේදනාවක් ඇති නොවේ. එමනිසා ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකරගත යුතු නැත. 

ඇවිද්දට කමක් නැද්ද?

සිසේරියන් සැත්කමෙන් පසු දිනම ඔබව ඇඳෙන් බස්සවනු ඇත. ඔබ ඇඳට වී නොසිටිය යුතුය. සැත්කමෙන් පසු වැඩි කල් නොගොස් ඇවිදින තරමට ඔබ ඉක්මනින් සුවය ලබනු ඇත. සැත්කමෙන් පසුදිනම ඔබ ඇවිදීමට පටන්ගත යුතුය. ඔබ ඇඳටම වී සිටියහොත් කකුලේ ලේ කැටිගැස්සීම්, තුවාලය පැසවීම, තුවාලය සනීපවීමට කල් ගතවීම, නිව්මෝනියාව වැනි සංකූලතා රාශියකට ඔබට මුහුණපාන්න සිදුවනු ඇත. නමුත් ඔබ සය මසක් යනතුරු බර ඉසිලීම, බරවැඩ කිරීම, දිවීම, උදරයට කරන ව්‍යායාම කිරීම ආදිය නොකලයුතුය. එවැනි දෑ සය මසකට පසු ක්‍රමානුකූලව ආරම්භ කල හැක.

නෑවට කමක් නැද්ද?

නිවසට පැමිණි ඔබ ඔබගේ තුවාලය පිරිසිදුව තබා ගත යුතුය. එය පිරිසිදුව තබාගත හැකි හොඳම ක්‍රමය වන්නේ ස්නානය කර හෝ ඇඟ සෝදා තම සිරුරම පිරිසිදු කරගැනීමෙනි. තුවාලයේ සබන් ගෑවාට කමක් නැත. නෑමෙන් පසු තුවාලය පිරිසිදු රෙදිකඩකින් හොඳින් වියළා ගතයුතුය. පසුව තුවාලය පිරිසිදු ගෝස් (Gauze) කැබැල්ලකින් වසා තබන්න. ඕනෑම මැහුම් වර්ගයක් භාවිතා කර තිබුනද තුවාලය තෙමිය හැක. ක්ලිප් යොදා ඇතිවිටද තුවාලය තෙමිය හැක. 

කන්න හොඳ නැති කෑම මොනවාද?

ඔබට ඕනෑම කෑම වර්ගයක් ආහාරයට ගත හැක. ඔබට කිසිම තහනමක් නැත. නමුත් ඔබට ගර්භනී සමයේදී දියවැඩියාව තිබුනේනම් ඔබගේ රුධිර සීනි මට්ටම වැඩිවන අහාර පාලනය කළ යුතුය.

තුවාලය සම්බන්දයෙන් බිය විය යුතු දේ මොනවාද?

පහත අවස්ථා වලදී ඔබගේ වෛද්‍යවරයා නොපමාව හමුවන්න.

  • ඔබගේ තුවාලයේ සම ඈත්වී ඇතිනම්
  • තුවාලයෙන් සැරව ගැලීමක් සිදුවේනම්
  • තුවාලය වටේ රතු වී ඉදිමී තද වේදනා තත්වයක් ඇත්නම්
  • ඔබට උණ ගතියක් ඇත්නම්
  • යෝනි මාර්ගයෙන් දිගින් දිගටම ලේ වහනයක් සිදුවේනම්

මෙවැනි අවස්ථා වලදී නොපමාව ඔබගේ වෛද්‍යවරයා හෝ ලඟම ඇති රෝහල වෙත යන්න.

වෛද්‍ය දුලාංග රත්නායක

ශල්‍ය වෛද්‍ය ඒකකය,

මූලික රෝහල, රිකිල්ලගස්කඩ.

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "Share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "Share" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook