ඔබේ දරුවාගේ පෙකණි වැල හා සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළු

Hits: 27854 times

ඔබේ බිළිඳා ඔබේ කුස තුල වැඩෙන විට ඔක්සිජන් හා ආහාර ලබා ගන්නේ පෙකණි වැල හරහා. පෙකණි වැලේ රුධිරය ගෙන යන ධමනි දෙකක් හා ශිරාවක් තිබෙනවා. ශිරාව තුලින් ඔක්සිජන් වැඩි රුධිරය වැදෑමහේ සිට දරුවා වෙතත්, ධමනි දෙක තුලින් ඔක්සිජන් අඩු රුධිරය දරුවාගේ සිට වැදෑමහ වෙතත් ගෙන යනවා.

 ඔබේ දරුවා උපන් විගසම පෙකණි වැල clamp කර දරුවාගේ සිට 15-20 cm පමණ කොටසක් ඉතිරි කර කපනු ලබනවා. ඉන් පසු ළමා රෝග සම්බන්ධ වෛද්යවරයෙක් ඔබේ දරුවා සියුම් ලෙස පරීක්ෂා කරනු ඇති. ඉන් පසු ප්ලාස්ටික් Cord Clamp එකක් දමා පෙකණි වැලෙන් 2-3 cm පමණ කොටසක් ඉතිරි වන සේ කපා ඉවත් කරනු ලබනවා. උපන් විගසම පෙකණි වැල සුදු පාටයි, දිලිසෙන සුළුයි හා තෙතමනය සහිතයි. ටික කලකින් එය වියැලී යන විට අළු, දුඹුරු හෝ කළු පැහැ විය හැකියි. මෙය සාමාන්ය තත්වයක්. සතියකින් හෝ දෙකකින් පෙකණි වැල වේලී හැලී යනවා. සමහර දරුවන්ගේ පෙකණි වැල සතියක් පමණ දී හෝ සති දෙකකට ටිකක් පසුව හැලී යා හැකියි. පෙකණි වැල හැලී ගිය පසු පෙකණි වැල සවි වී තිබුනු ස්ථානය සතියක් පමණ කලක් රතුවට තිබිය හැකියි. පිදුරු පැහැති ද්රවයක් ශ්රාවය වීමත් සාමාන්ය දෙයක්. මෙම තත්වය සතියක් පමණ කල් පැවතිය හැකියි. ඔබේ දරුවාගේ පෙකණි වැල සම්බන්ධයෙන් ඔබ දැනගෙන සිටීම ඉතා වැදගත්.

පෙකණි වැල හා සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළු

පෙකණි වැල හැලී ගිය පසු එම ස්ථානයේ සතියකට වඩා පවතින රතු පැහැ ගැටිත්තක් ඇතිවීම Umbilical granuloma විය හැකියි. මෙය පහසුවෙන් ප්රථිකාර කල හැකි තත්වයක්. පෙකණි වැල හැළුණු පසු එම ස්ථානය අසල ඉදිරියට නෙරා ආ ඉදිමුමක් වැනි දෙයක් ඇත්නම් එය Umbilical hernia විය හැකියි. මෙය වේදනා රහිත තත්වයක්. පෙකණි වැලේ ව්යුහමය සම්බන්ධතා නිසා පෙකණි වැලේ ආසාදන ඉතා වැදගත් හා සමහර විට ඉතා දරුණු විය හැකියි. මෙම ආසාදන ඉහත කී සම්බන්ධතා දිගේ හා පටක අතරින් ඉතා ශීඝ්රයෙන් පැතිරිය හැකියි. පෙකණි වැල Falciform ligament නම් පැතලි පටකය මගින් අක්මාව හා සම්බන්ධයි. Omphalomesenteric remnant (කුස තුලදී මෙය vitelline duct නමින් හැඳින්වෙනවා) මගින් කුඩා බඩවැල සමඟ සම්බන්ධයි. උදර කුහරයේ බිත්තිය දිගේ එන ධමනි දෙකක් පෙකණිය අසල දී හමු වෙනවා. මුත්රාශය හා පෙකණිය සම්බන්ධ වන්නේ Uracus නම් ව්යුහයෙන්. පෙකණි වැලේ ආසාදන නිසා necrotizing fasciitis, myonecrosis, sepsis, septic embolization හා වෙනත් උදර කුහරයට අදාල සංකූලතා ඇති වෙන්න පුලුවන්. Necrtizing fasciitis යනු උදර කුහරයේ ඉදිරි බිත්තියේ පටක වල දරුණු ආසාදනයක්. උදර කුහරයේ ඉදිරි බිත්තිය මෙන්ම පුරුෂ ලිංගයට හා වෘෂණ කෝශවලටත් මෙයින් හානි විය හැකියි. Myonecrosis යනු උදර කුහරයේ ඉදිරි බිත්තියේ මාංශ පේෂිවල ආසාදනයක් නිසා එම පේෂි වලට දරුණු හානි සිදු වී එම පේෂි මිය යාමයි. පෙකණි වැල අසල රුධිර වාහිනී ආසාදනය වුනොත් විෂබීජ කෙලින්ම රුධිර සංසරණයට ඇතුලු විය හැකියි. රුධිර වාහිනී ආසාදනය වූ විට ආසාදිත පටක කැබලි කැඩී රුධිරය මගින් හදවතටත් එතැනින් වෙනත් අවයව වලටත් ඇතුලු වී එම අවයවත් ආසාදනය වීම spetic embolism නමින් හැඳින්වෙනවා. පෙකණි වැලේ ආසාදන falciform ligament දිගේ අක්මාවටත් (අක්මාවේ සැරව ගෙඩි), පටක ස්ථර අතරිනුත් (උදර කුහරයේ පිටුපස සැරව ගෙඩි / retroperitoneal abscess), උදර කුහරය තුලටත් (peritonitis හා බඩවැලේ අවහිරතා) යා හැකියි.

නිතර පෙකණි වැල අසල පිරිසිදුවට තබා ගන්නේ කෙසේද?

 ඔබට මේ සඳහා සිනිඳු රෙදි කැබැල්ලක්, සැර නැති බේබි සබන් හා පුළුන් ටිකක් අවශ්ය වෙනවා. සබන් මිශ්ර ඇල් මැරුණු ජලයෙන් පුළුන් කැබැල්ල හොඳින් පොඟවා ගන්න. වැඩිපුර වතුර මිරිකා යවා, පෙකණි වැලේ ඉතිරි කොටසත් ඒ අවට සමත් හොඳින් පිරිසිදු කරන්න. පෙකණි වැල පුළුන් කැබැල්ලෙන් පිරිසිදු කිරීමට බිය විය යුතු නැහැ. සේදීමෙන් පසු, සිනිඳු රෙදි කැබැල්ලෙන්, ජලය ඉවත් වන තුරු හොඳින් තෙත මාත්තු කරන්න. පෙකණි වැල හැලී ගිය පසු එම තුවාලය සම්පූර්ණයෙන් සුව වන තෙක් මෙසේ පිරිසිදු කිරීම දිගටම කරගෙන යා යුතුයි.

නිතර පෙකණි වැල අසල වියලි ව තබා ගන්නේ කෙසේද?

සේදීමේ දී පෙකණි වැල අසල තෙත් වුවත්, සේදීම් දෙකක් අතර එම ප්රදේශය වියලි ව තබා ගැනීමෙන් පෙකණි වැල ඉක්මනින් හැලී එම තුවාලය ඉක්මනින් සුව වීමට හේතු වෙනවා. ඔබ දරුවාට Diapers අන්දන්නේ නම් එය පෙකණි වැලින් පහලට සිටින සේ අන්දන්න. එය අපහසු නම් Diaper එකේ පෙකණි වැල වැහෙන කොටස කපා ඉවත් කරන්න. මෙසේ කිරීමෙන් දරුවාගේ මුත්රා හා අසුචි පෙකණි වැලෙහි තැවරීම අවම වෙනවා. දරුවා නාවන විට පෙකණි වැල ජල මට්ටමෙන් උඩට සිටින සේ දරුවා අල්ලා ගන්නට මතක තබා ගන්න. විශේෂ නාවන උපකරණ වල මේ සඳහා ආනතව සකසන ලද ඵලකයක් වැනි කොටසක් තිබෙනවා.

වෛද්ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවල ද?

ඔබේ දරුවාගේ පෙකණි වැල අසල ප්රදේශය රතු වී ඇත්නම්, උණ තිබේනම්, එම ප්රදේශයේ සැරව තිබේනම් හෝ එම ප්රදේශය අල්ලන විට දරුවා තදින් හඬයි නම් වෛද්ය උපදෙස් පතන්න. පෙකණි වැල හැලී ගිය පසු එහි සතියකට පසුවත් සුව නොවන රතු පැහැති ගැටිත්තක් තිබේනම් (umbilical granuloma) හෝ පෙකණි වැල අසල වේදනා රහිත ඉදිමීමක් (umbilical hernia) දක්නට තිබේනම් ඔබේ වෛද්යවරයා හමුවන්න. මෙම තත්වයන්ට ඉක්මනින් හා පහසුවෙන් ප්රථිකාර කල හැකියි. 

By: Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL),

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook