දරු උපත්වල වේදනාව අවම කරන සිසේරියන් ශල්‍යකර්මය

Hits: 19282 times

දරු උපතකදී ශල්‍යකර්ම භාවිතා කිරීම අද වන විට සාමාන්‍ය එදිනෙදා තත්වයක් බවට පත්වී හමාරයි. නමුත් ප්‍රසව වෛද්‍යවරුන් බොහෝ විට නිර්දේශ කරන්නේ සාමාන්‍ය දරු උපතක් සිදු කිරීමයි. ඔබ ඔබගේ දරුවා උපදින විටදී මෙම කිනම් ක්‍රමයක් භාවිතා කිරීමට යන්නේද යන්න තීරණය කිරීමට මෙම ලිපිය උපකාරී වනවා නොඅනුමානයි. 

ශල්‍යකර්මයක් අත්‍යාවශ්‍යද?

බොහෝ විට ශල්‍යකර්මයක් සඳහා යොමුවන්නේ බඩෙහි සිටින දරුවාගේ පිහිටීමේ සිදුවන අසාමාන්‍යතාවයන් (හිස ඉහලින් හා පදයන් පහලින් පිහිටීම). නැතිනම් මවගේ ඇතිවන විවිධ සන්කුලතාවන්ය. ශ්‍රෝණි පෙදෙසේ ඇති තුවාල, ශ්‍රෝණියේ ඇතිවීය හැකි ශ්‍රෝණි කුහරය වැසීයාමේ  අසාමාන්‍යතා, ඇතැම් විට දරුවාගේ ඇති වී ඇති අසාමාන්‍යතා හා මවගේ විවිද රෝගි තත්වයන් නිසා උපතේදී ඇතිවන වේදනාවන්, දරුවාගේ හිස ශ්‍රෝණි කුහරයට වඩා අධික ලෙස විශාල වීම, යනාදිය මෙම ශල්‍යකර්මයට යොමු වීමට හේතු සාදකයන්වේ. 

මෙම ශල්‍යකර්මයට යොමු වීම සම්බන්ධයෙන් විවිධ මත පවතින නමුත් මෙය ලංකාවේ ඉතා සුලභව භාවිතා වෙයි. සෑම දෙනාම කරනා නිසා මෙම ශල්‍යකර්මයට නොගොස් ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට නිවැරිදි තීරණයකට පැමිනෙන්න. ඔබගේ තත්වය ඉහත දක්වා ඇති තත්වයක් නොවන්නටත් පුළුවන්.

උපත් ශල්‍යකර්මයකදී සැබවින්ම සිදුවන්නේ කුමක්ද?

පළමුව සිදුවනුයේ අභ්‍යන්තර ශිරා ඔස්සේ නිර්වින්දක හා ප්‍රති ජීවක එන්නත් කිරීමයි. පිට කොන්ද අවට ප්‍රදේශයද නිර්වින්දනය කරන එන්නත් ලබා දෙයි. මෙවිට ඔබට ඔබගේ උරස් කූඩුවෙන් පහල කිසිදු ඉන්ද්‍රියක දැනීමක් ඔබට නොදැනේ. ඔබ නිර්වින්දනය කොට ශල්‍යාගාර මේසය මත තැබූ පසු මුත්‍රාශයට කැතීටර බටයක් යවනු ලැබයි, මෙය ශල්‍යකර්මයෙන් පසුව ඊළඟ පැය 12 ගත වන තෙක්ම පවත්වාගෙන යයි. ඊළඟ පියවරදී වෛද්‍යවරයා ඔබගේ බඩ ප්‍රදේශය betadine  විෂබීජ නාශකය හා ශල්‍යාගාර ස්ප්‍රිතු මගින් පිරිසිදු කිරීම සිදු කරයි. පසුව ශල්‍යකර්මයට අයත් පෙදෙස පමණක් නිරාවරණය වන ලෙස ශරීරයේ අනෙකුත් පෙදෙස් ආවරණය කරයි. මෙහිදී ඔබට ඔබගේ බඩ ප්‍රදේශය නොපෙනෙන්නට  කුඩා තිරයක් දමනු ලැබේ. මෙම ශල්‍යකර්මයට සමාන්‍යයෙන් ගත වන්නේ විනාඩි 10 පමණි. ඔබට ඔබගේ බඩ ප්‍රදේශය  විවෘත කරනවා සුළු ලෙස දැනේ. මෙහිදී කැපීම සිදුකරනුයේ යටි බඩ පහළ ප්‍රදේශයෙනි. වෛද්‍ය වරයා ගර්භාෂය තෙක් ළඟා වූ පසු එහි කුඩා කැපීමක් සිදු කොට ගර්භාෂයේ ඇති තරලය සෙමින් ඉවත් කරනු ලබයි.  පසුව කැපුම ටිකෙන් ටික වැඩි කර දරුවා ඉවතට ගනියි. ඉහත සඳහන් කරන ලද දරුවාගේ විවිධ අසාමාන්‍ය පිහිටීම් වුවහොත් එය සදහා සුදුසු ප්‍රතිකර්මයක් වෛද්‍ය වරුන් අනුගමනය කරනු ඇත. අවසානයේ ඔබට දරුවාව හොඳින් දැක බලා ගැනීමේ අවස්ථාව වෛද්‍ය වරයා ඔබට ලබා දෙනු ඇත. පසුව දරුවාව ළමා රෝග විශේෂඥ වරයකුගේ පරීක්ෂණයකට ලක් කරයි. නැවතත් ඔබව මැහුම් දැමීමට ගතවන කාලය, කැපීමට වඩා වැඩිය. සියල්ල අවසන් වූ පසු ඔබව ශල්‍යාගාරයේ සිට සුවතාකාමරය වෙත ගෙන යනු ලබයි.  (මෙම ශල්‍ය කර්මය සිදු කරන අයුරු වීඩියෝවක් මෙම ලිපිය අවසානයේ දැක්වේ.)

උපත් ශල්‍යකර්ම වල අවදානම?

වර්තමානයේ මෙම ශල්‍යකර්මය ඉතා ආරක්ෂිත ලෙස සිදුවෙයි. නමුත් ඉතා කලාතුරකින් නිර්වින්දක බෙහෙත් සදහා මවගේ ශරීරය අයහපත් ප්‍රතික්‍රියා දක්වන්නට පුළුවන්. ඇතැම් විට ආසන්න අනෙකුත් අවයව හානියට පත් වන්නටද පුළුවන්. එමෙන්ම ගර්භාශයේ සිදු වන පසු සන්කෝචන නිසා ලේ ගැලීම්, කකුලේ හා පෙනහළු වල ලේ කැටිති ඇති වීමද සිදු විය හැක. එමෙන්ම කැපුම් තුවාලය ආසාදනය වීමද ඇති විය හැකි සුලබ සිද්ධින්ය.

ඔබ කල යුත්තේ කුමක්ද?

ඔබගේ ප්‍රසව වෛද්‍යවරයා සමග උපත් ක්‍රමය පිලිබදව දැන්ම සාකච්චා කරන්න. කිසිවක් සඟවන්න එපා. ඉතා කුඩා සුළු තොරතුරක් වුවද අවසානයේ ඔබගේ තීරණය සම්පුර්ණයෙන් වෙනස් කරලීමට බලපාන්නට පුළුවන් .ඔබගේ වෛද්‍යමය ගැටළු වෛද්‍ය තුමන්/තුමිය ගේ උපදෙස් මත විසඳා ගන්න. ඔබට නිර්දේශ කර ඇති ව්‍යායාම හා බෙහෙත් නිසි පරිදි ලබාගන්න.  

විශේෂ පසු වදනක්:

සිසේරියන් සැත්කම හා සම්බන්ධ සංකුලතාවයන්ද පවතී. දැනට වාර්තා වී ඇති මාතෘ මරණ අතුරින් සිසේරියන් සැත්කම ආශ්‍රිත මරණ බොහොමයක්ද වාර්තා වේ. නමුත් සිසේරියන් සැත්කමකට යොමු වීම මගින් ඔබගේ දරුවාට උපතේදී සිදුවන කම්පනයන්/වේදනාවන්  අවම කර ගැනීමේ හැකියාව පවතී.

ඔබට අවශ්‍ය නම් පළමු සිසේරියන් දරු උපතකින් පසු  දෙවන දරු උපතේදී සාමාන්‍ය දරු උපතකට යොමු වීමේ හැකියාව පවතින මුත් එකදිගටසිදු කරන ලද සිසේරියන් සැත්කම් 2කින් පසුව තෙවන දරු උපත සදහා සාමාන්‍ය දරු උපතකට යොමු වීම අවධානම් සහගත වේ. මෙනිසා පුළුවන්  සෑම විටකම පළමුදරු උපතේදී සිසේරියන් ක්‍රමයෙන් බැහැරව දරු උපතට යොමු වීම වඩාත් යෝග්‍ය වේ. (සාමාන්‍ය ආකාරයට දරුවන් බිහිකිරීමේදී ඇතිවන වේදනාව අවම කරන එන්නත් භාවිතා කිරීමෙන් ඔබේ සාමාන්‍ය දරු උපත ඉතා පහසු කර ගත හැකියි. ඒ ගැන ලියැවුන “එපිඩියුරල් ක්‍රමය” සම්බන්ධ ලිපියත් කියවා බලන්න අමතක කරන්න එපා). මෙවිට ඔබට පවුල් කළමනාකරණය වැඩි අපහසුතාවයෙන් තොරව සිදු කරගත හැකිය.

Original Article By: Dr T. M. S. Sameera B. Madugalle MBBS (COL))  

Verified by: Dr Ravi Liyanaarachchi, MBBS

 

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය විජිත් විද්යාභුෂණ මහතා විසින් සිසේරියන් සැත්කමක් සිදුකරන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ...

 

.................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................

 

 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook