නිවසේදී දරුවන්ට සිදුවන හදිසි අනතුරු වලක්වා ගනිමු.

Hits: 2882 times

අපිට නිතර දෙවේලේ සිදුවන හදිසි අනතුරු, අපේම නොසැලකිලිමත් භාවය නිසා වීමේ හැකියාව බොහොයී. අද අපි සාකච්ඡා කරන්නේ දරු උපතේ සිට විමසිලිමත් වීමෙන් අපිට එලෙස අනතුරු වලක්වා ගත හැකි ආකාරය ගැනයි.

 1. දරුවාගේ නැපීස් හොඳින් සෝදා ඉස්තිරික්ක කරගන්න.

කුඩා දරුවන්ගේ නැපීස් වල ඇති කිරි සුවඳට නිතර කුහුඹුවන් හෝ වෙනත් සතුන් පැමිණිය හැකි බැවින් සෑම විටම හොඳින් ඉස්තිරික්ක කල නැපීස්  දරුවාට අන්දවන්න. දරුවාගේ කොට් ෂීට්  සහ අනෙකුත් ඇඳුම්ද එලෙසම ඉස්තිරික්ක කල යුතුවේ.

2. මව්කිරි දීමෙන් පසු..,

ඔබේ කිරිකැටියාට මව්කිරි දීමෙන් පසු ඔහුගේ කුස තුල ඇති වාතය පිටකර හැරීමට මද වෙලාවක් උඩු අතට වඩාගෙන සිටින්න. එසේ කල විට කිරි බීමේදී කුසෙහි රැඳුනු වාතය පිටවී ඔහුට කිරි වමනය වීමේ අවස්ථාව අඩුවේ. නිතර කිරි වමනය වීම, කිරි පිට උගුරේ යාම සහ කිරි නාසයෙන් ඒම  මෙමෙගින් වලක්වා ගත හැක.

 

3.  කිරිකැටියා නිදිකරවීම

කිසිවිටකත් අලුත උපන් දරුවන් හිස පහතට මුහුණලා නිදිකරවන්න එපා. නාස්පුඩු කොට්ටයට තදවීමෙන් කුඩා දරුවන්ට හුස්ම ගැනීමට නොහැකිවී මරණය පවා සිදුවිය හැක.(cot death/ sudden infant death syndrome )

 

තවද, රාත්‍රියේ දරුවාට කිරිදෙමින් නිදාගැනීම නොකළයුතු බව මතක තබා ගන්න. ඔබ සමග දරුවා එකම ඇඳෙහි නිදාගන්නේ නම්, ඔබත් දරුවාත් අතර යම් පරතරයක් තිබිය යුතුයි. වඩාත් සුදුසු දෙය නම්, දරුවා කොට් එකක  තැබීමයි. කොට් ඇඳ  තුලද, අනවශ්‍ය අකාරයෙන් කොට්ට, පිරවූ සෙල්ලම් සතුන් තැබීමෙන් වලකින්න. දරුවා මාස 3 ට පසු තනිවම හැරෙන බැවින් දහවල් කාලයේ වැඩිහිටියන්ගේ ඇඳෙහි නිදිකරවා නොයන්න.  ඔහු තනිවම පෙරලී, ඇඳෙන් බිමට වැටිය හැක.

 

3. දරුවා නෑවීමේදී

මෙහිදී ඉතාම ප්‍රවේශම් විය යුතු අතර හොඳින් ආලෝකය ඇති ස්ථානයක තවත් කෙනෙකුගේ උපකාරයද සහිතව බිලිඳා නහවා ගන්න.  දරුවාගේ කන, නාසය ආදියට ජලය යාමෙන් වලක්වා ගැනීමට වග බලාගන්න. මාස 7-8 පසු දරුවාට තනිවම බීසමේ වාඩිවී සිටිය හැකි මුත් කිසිවිට දරුවා තනිකර යන්න එපා. ඔවුන් නැගිටීමට උත්සාහ කල හැකියි, එසේ නැතහොත් ලිස්සා  බේසම තුලම වැටෙන්නට හැකියි.

4. දරුවා සුරතල් කිරීම.

බොහෝ දෙනා කුඩා දරුවන් සුරතල් කිරීමට, ඔවුන්ව දෑතින් ඔසවා සොලවති. මදක් උඩට විසිකර නැවත අල්ලති. කරුණාකර මෙය සිදු නොකරන්න. වෙනත් අයෙක් එලෙස සිදුකිරීමද වලක්වාන්න. තදින් සෙලවීම් වලට භාජනය වීම දරුවාට ඉතාම අහිතකර වේ. (shaken baby syndrome)

5. ආහාර කැවීම

කිරිකැටියාට වයස මාස 6 ඉක්මවනවාත් සමගම සෑම මවක්ම අමතර ආහාර දීම සාමාන්‍ය කරුණක්. නමුත්, කිරි බීමට පමණක් පුරුදු වී සිටි දරුවා, මුලින් මදක් ඝන අහරක් මුවට දුන් විට එය ගිලීම හරීහැටි නොදන්නා බැවින් ඉතාම ප්‍රවේශමෙන් දරුවාට කැවීම සිදුකල යුතුයි. මාලු, මස් ආදිය දීමේදීත් කටු හොඳින් ඉවත් කර කවන්න. එකවර ගොඩක් ආහාර මුව තුලට එබීමෙන් වලකින්න. කැස්ස හෝ වමනය කලවිට, මද වෙලාවක් යනතුරු නැවත අහාර නොදෙන්න.

6. සෙල්ලම් කිරීම

මාස 6 ඉක්මවූ දරුවන් වැඩි කාලයක් සෙල්ලම් කිරීමට වැය කරන අතර, ඔවුන් විවිධ දේ කටට දමා ගනී. ඔවුන්ගේ සෙල්ලම් බඩුවල කුඩා, ගැලවෙනසුලු කෑලි නොමැති වීමට වගබලාගන්න. කුඩා පබලු, ආය කටු, කොණ්ඩා කටු, බැටරි වැනිදේ, කිසිවිට දරුවා සෙල්ලම් කරන බිම නොතිබිය යුතුයි. හැකි සෑම විටකම වැඩිහිටියෙක් දරුවා අසල රැදී සිටීම සුදුසු වේ.

7. දණගාන  සහ ඇවිදින දරුවා

දරුවා වැඩෙත්ම ඔහු තුල ඇති කුතුහලයද වැඩෙයි. එබැවින් ඔහු සමීපයට එන සියලු දෙය කා බැලීම හෝ අල්ලා  බැලීම නිසැගින්ම ඔහු කරයි. එයම ඔහුව විවිවධ අනතුරු වලට නතු වීමට බලපාන  හේතුවක්. දණගාන හෝ ඇවිදින දරුවන් උස් වැට ඇති ප්ලේ පෙන්  එකක (play pen ) හෝ කොට්  ඇඳක  තබාගැනීම ආරක්ෂා සහිතයි. දරුවා එලියට යාම වලක්වා ගන්න කුඩා වැටවල් සකස් කරගත හැකියි. මේ කාලයේදී නිතර දරුවා අසළ වැඩිහිටියෙක් ලගින්ම සිටීම වඩා යෝග්‍ය වේ.

8. උණු ජලය සහ අනෙකුත් උණු දියර වර්ග.

දරුවා නාවන මඳ රස්නය ඇති දිය, මුලින් පිළියෙළ කර, පසුව එම ස්ථානයටදරුවා රැගෙන යන්න.

බෝතලයට සාදන ලද කිරි, දරුවාට දීමට පෙර දරුවාට බීමට සුදුසු උෂ්ණත්වයක තිබේදැයි බලන්න.

දරුවා වඩාගෙන ඉවුම් පිහුම් කිරීම, තේ පිළියෙළ කිරීම නුසුදුසුයි. එමෙන්ම දරුවා අසල උණු දිය බඳුන් හෝ තේ,කොපි කෝප්ප තබා ගැනීම අනතුරකට ඇත වැනීමක් විය හැකියි..  තද උණු දිය, තෙල්, ආදිය  වැටීමෙන් කුඩා දරුවන් පිලිස්සී, සදාකාලික කැළැල් ඇතිවීම්, විකලවීම් හා කනගාටුදායක ලෙස ජීවිත හානිද වී ඇති පුවත් නිතර අප ඇස ගැටීම කොතරම් ශෝකජනකද?

9. විදුලි උපකරණ, ප්ලග් හා ස්විච.

තම සිඟිති ඇඟිලි, නිවසේ ඇති ප්ලග් පොයින්ට් හිල් තුලට එබීම කුඩා දරුවා ආශාකරන දෙයක් බැවින්  

ඔවුන්ගේ උස මට්ටමේ ඇති සියලු ප්ලග් පොයින්ට්, ප්ලාස්ටර් හෝ සෙලෝ ටේප් වලින් ආවරණය කර තබන්න. වයර් වර්ග, දුරකථන චාර්ජර්, ඉයර් ෆෝන් දරුවා තනිව සිටින විට අත ගැවසෙන දුරක නොතබන්න.

10 නියමිත දේ නියමිත තැන

නිවසේ ඇති තියුණු ආයුධ, (පිහි,කතුර,නියන්) භූමිතෙල්, පෙට්‍රල්,ගෙවතු පොහොර, මී පාසානම්, ආදී නොයෙක් ද්‍රව්‍ය දරුවන්ට කිට්ටු විය නොහැකි, උස ස්ථානයක තබන්න. වරක් පාවිච්චි කල පසු, නැවත නියමිත ස්ථානයෙන් තබන්න. බෙහෙත් බෝතල් මෙන්ම ඔබගේත් නිවසේ අනෙකුත් වැඩිහිටියන්ගේත් බෙහෙත් පෙති ආදිය, දරුවන් අත නොගැටෙන ලෙස තබාගන්න.මේ කරුණු සිහිතබා ගෙන, දරුවාගේ ශාරීරික සහ මානසික වර්ධනයට අත්‍යාවශ්‍ය නිදහස සහ ස්වාධීනත්වය සපුරා, ආරක්ෂාවෙන් පරිපූර්ණ ජීවන පිළිවෙතක මුල් අඩිතාලම දැමීමට ඔබත් යොමුවන්න.  

මේ කරුණු සිහිතබා ගෙන, දරුවාගේ ශාරීරික සහ මානසික වර්ධනයට අත්‍යාවශ්‍ය නිදහස සහ ස්වාධීනත්වය සපුරා, ආරක්ෂාවෙන් පරිපූර්ණ ජීවන පිළිවෙතක මුල් අඩිතාලම දැමීමට ඔබත් යොමුවන්න.  

වෛද්‍ය දේවිකා ජයසේකර

……...

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook