පුරුෂ ප්‍රජනක පද්ධතියේ ගැටළු

Hits: 5261 times

සමහර විට ඔබට නොයෙක් ශාරීරික ප්‍රශ්න හමුවේ මානසික පීඩනයක් දැනෙනවා ඇති. ඒත් තනි සෛලයක සිට වර්ධනය වී, ඔබට සාමාන්‍ය ශරීරයක් හා සාමාන්‍ය අඟ පසඟ ලැබීමටත් මවු කුස තුලදී බොහෝ දේ ඉතා සාර්ථකව සිදුවිය යුතුයි. යම් හෙයකින් පොඩි දෙයක් හෝ වැරදී ගියහොත් නොයෙක් ශාරීරික අඩුපාඩු ඇති වීම වැලැක්විය නොහැකියි.

 

පුරුෂ ලිංගය නොමැති වීම (Absence of penis)

මෙම තත්වය ඇතිවන්නේ උපත් මිලියන 30 කට 1ක් පමණයි. මෙම තත්වය ඉතා දුලභ වුවත් එයි සිදුවන හානිය ඉතා විශාලයි. මෙම රෝගී තත්වය ඇති පිරිමි දරුවන්ගේ පුරුෂ ලිංගය කිසිසේත්ම වර්ධනය වෙන්නේ නැහැ. සමහර අයගේ ඉතා කුඩා කොටසක් පමණක් වර්ධනය වුනත් එහි සාමාන්‍යයෙන් පුරුෂ ලිංගයක තිබිය යුතු කොටස් නැහැ. වෘෂණ කෝශ සාමාන්‍ය ලෙස වර්ධනය වුනත් වෘෂණ අවරෝහණය නොවී තිබිය හැකියි. මුත්‍රා මාර්ගය උකුල් ප්‍රදේශයේ සිට ගුද මාර්ගය තෙක් ඕනෑම තැනක තිබිය හැකියි. බහුලව ම මුත්‍ර මාර්ගය විවර වෙන්නේ ගුද මාර්ගයටයි. මෙම තත්වය ඇති දරුවන්ට වකුගඩු වර්ධනයේ ගැටළු පවා තිබිය හැකියි.

මවු කුස තුල වැඩෙන කාලයේ මුල් සති 8 ගත වන තුරු පිටතින් ගැහැනු හෝ පිරිමි භාවය වෙන කර හඳුනා ගන්න බැහැ. 8 වන සතියෙන් පසු ගැහැනු හා පිරිමි වර්ධනය වෙනස් ආකාරවලින් සිදු වෙනවා. Genital tubercle නම් කොටසින් පිරිමි දරුවන්ගේ පුරුෂ ලිංගය හා ගැහැනු දරුවන්ගේ clitoris හට ගන්නවා. පුරුෂ ලිංගය නොමැතිවීමට හේතුව මෙම genital tubercle වර්ධනය නොවීමයි. ගර්භනී කාලයේ දියවැඩියාව හා මෙම තත්වය අතර සම්බන්ධතාවක් ඇති බව පර්යේෂණ මගින් ඔප්පු වී තිබෙනවා.

මේ රෝග තත්වය ඇති බොහෝ දරුවන් ලිංග වෙනස් කිරීමේ සැත්කම් වලට බඳුන් වෙනවා. එසේ වුනත් මානසිකව ඔවුන් පිරිමින් දරුවන් ලෙස හැසිරෙනවා. එනිසා මෙම දරුවන් පිරිමි දරුවන් ලෙස හදාවඩා ගැනීම සුදුසුයි. සමහර සැත්කම් වලින් යම් තරමක හෝ පුරුෂ ලිංගයක් අලුතෙන් සෑදිය හැකියි. 

පුරුෂ ලිංගය මැදින් දෙකට බෙදී තිබීම (penis duplication / bifid penis)

මීට පෙර පැහැදිලි කිරීම අනුව genital tubercle නම් කොටසින් පුරුෂ ලිංගය හට ගන්නවා. මෙම අවයවයේ බෙදීම් නිසා පුරුෂ ලිංගයේ බෙදීම් ඇති වෙනවා. මෙම තත්වය ඇති සමහර දරුවන්ගේ මුත්‍රාශය පිටත්ට නිරාවරණය වී තිබෙනවා (Extrophy of bladder). 

ඉතා කුඩා පුරුෂ ලිංගයක් තිබීම (Micropenis)

Micropenis ලෙස හඳුන්වනේ ව්‍යුහමයව සාමන්‍ය ලෙස සෑදුනු, එහෙත් ප්‍රමාණයෙන් ඉතා කුඩා පුරුෂ ලිංගයක් තිබීමයි. වෘෂණ කෝශ සාමන්‍ය ලෙස වර්ධනය වුනත් වෘෂණ අවරෝහණය නොවී තිබිය හැකියි. මෙම තත්වය තිබේදැයි සිතීමට පෙර පුරුෂ ලිංගයේ දිග මනින ආකාරය දැනගෙන සිටිය යුතුයි. නිවැරදි ක්‍රමය නම් පුරුෂ ලිංගය පොලවට සමාන්තරව ඇද අල්ලාගෙන මුල සිට ශිෂ්ණ මුන්ඩයේ කෙලවරට දිග මැනීමයි. නිවැරදි මිනුම් ලබා ගැනීම මගින් මෙම රෝග තත්වය ඒ හා සමාන් වෙනත් රෝගවලින් වෙන් කොට හඳුනා ගත හැකියි.

මෙම රෝගයට ප්‍රථිකාර ලෙස Testosterone එන්නත් මාස 3ක් පුරා ලබා දිය හැකියි. මෙම ප්‍රථිකාරයට හොඳ ප්‍රතිචාර ඇත්නම් පිරිමි දරුවෙකු ලෙසත්, ප්‍රතිචාර අඩු නම් ගැහැනු දරුවෙකු ලෙසත් හදා වඩා ගැනීම සුදුසුයි. 

වැලලුනු පුරුෂ ලිංගය (Buried penis)

ඉතා තරබාරු දරුවන්ගේ පුරුෂ ලිංගය මේද ස්ථර නිසා වැලලී පවතිනවා. මෙම තත්වය හා micropenis තත්වය වෙන් කරගන්නේ නිවැරදි මිනුම් ක්‍රමය භාවිතා කිරීමෙන්. ලිංගය ප්‍රමානයෙන් හා ව්‍යුහමයව සාමාන්‍යයි. සැත්කමක් මගින් මෙම තත්වය සුව කල හැකියි.

එක් පැත්තකට නැමුනු පුරුෂ ලිංගය (lateral curvature of penis)

පුරුෂ ලිංගය තුල සමාන්තරව දිවෙන Corpora cavernosa නම් කොටස් දෙකක් තිබෙනවා. මෙම දෙකම එකම දිගෙන් යුතුව වර්ධනය විය යුතුයි. මෙම රොග තත්වයේදී ඉහත් කී කොටස් දෙක අසමාන දිගින් යුතුව වර්ධනය වෙනවා. සැත්කමකින් මෙය පහසුවෙන් නිවැරදි කල හැකියි.

ඉහත කී රෝග තත්වයන් දුලභයි. ඒවා ප්‍රථිකාර වලට බොහෝ විට හොඳින් ප්‍රතිචාර දක්වනවා. උපන් විගස වෛද්‍යවරු දරුවන් සූක්ෂ්මව පරීක්ෂා කරන නිසා මේ රෝග කුඩ කලදීම හඳුනා ගන්න පුලුවන්.    

By: Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL)

................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook