කුඩා දරුවන්ගේ මුත්‍රා ආසාදන

Hits: 2232 times

ඔබේ පුංචි දරුවාට ඕනෑ ම විටක මුත්‍රා ආසාදනයක් ඇති විය හැකියි. එය ඔබටත් දරුවාටත් දෙදෙනාටම දැඩි අපහසුවක් ඇති කරනවා. නිසි කලට හඳුනා ගෙන ප්‍රථිකාර නොකලහොත් මුත්‍රා ආසාදන නිසා ඔබේ දරුවාගේ වකුගඩු වලට ද හානි විය හැකියි. සමහර මුත්‍රා ආසාදන නිසා උණ හා බඩේ වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති වන අතර සමහර ආසාදන කිසිදු රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. පලමු අවුරුද්දේ දී පිරිමි දරුවන්ට මුත්‍රා ආසාදන ඇති වීමේ අවදානම ගැහැණු දරුවන්ට වඩා වැඩියි. එහෙත් පලමු අවුරුද්දෙන් පසු එම අවදානම ශීඝ්‍රයෙන් අඩු වෙනවා.

 

මුත්‍රා ආසාදනයක් හඳුනා ගන්නේ කෙසේ ද?

ලදරුවන්ගේ හා කුඩා දරුවන්ගේ මුත්‍රා ආසාදන වෙනත් රෝග වලින් වෙන් කොට හඳුනා ගැනීම අපහසුයි. වයස අනුව දරුවන්ගෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙනස් වෙනවා. මාස දෙකකට අඩු දරුවන්ට මුත්‍රා ආසාදන සමඟ උණ, වමනය , සම කහ පැහැ වීම,  නොසන්සුන් බව හා නුරුස්නා බව ඇති වෙනවා. මව් කිරි උරා බීම පවා අඩු විය හැකියි. මාස දෙකක සිට අවුරුදු දෙකක් වයස වන තෙක්, ඉහත කී රෝග ලක්ෂණ වලට අමතරව ඔබේ දරුවා උදරයේ වේදනාවක් සමඟ දුගඳ හමන මුත්‍රා පිට කල හැකියි. වයස අවුරුදු දෙකක් පමණ වන විට ඔබේ දරුවාට මුත්‍රා පිට වීම යම් තරමකට පාලනය කල හැකියි. එහෙත් මුත්‍රා ආසාදනයක දී එම පාලනය බිඳී ඉබේ මුත්‍රා පිට විය හැකියි (enuresis). බඩ දෙපැත්තේ වේදනාව, නිතර මුත්‍රා කිරීම, මුත්‍රා බර දැනුනු විට මුත්‍රා පිට නොකර ඉවසා සිටීමට නොහැකි වීම හා මුත්‍රා දැවිල්ල මුත්‍රා ආසාදනයක දී ඔබේ දරුවාට ඇති විය හැකි අනෙක් රෝග ලක්ෂණයි. මුත්‍රා ආසාදන වල දී ඔබේ දරුවාගේ උදරය ස්පර්ශ කල විට වේදනා දිය හැකියි.

මුත්‍රා ආසාදන හඳුනා ගැනීමට කල හැකි පරීක්ෂණ

Urine full report හා urine culture යන පරීක්ෂණ මුත්‍රා ආසාදනයක් හඳුනා ගැනීමට නිතර සිදු කරනවා. මෙම පරීක්ෂාවන් සඳහා මුත්‍රා සාම්පල ලබා ගැනීමේ නිවැරදි ක්‍රමය දැන සිටීම ඉතා ප්‍රයෝජනවත්. මුලින් ම දරුවාගේ ලිංගේන්ද්‍රිය හොඳින් සබන් දමා ජලයෙන් සෝදා පිස දමා ගන්න. පිරිමි දරුවෙකුගේ නම් පුරුෂ ලිංගයේ පෙර සම පස්සට කරන්න. ගැහැණු දරුවෙකුගේ නම් යෝනි තොල් දෙක දෙපසට කරන්න. මුලින් ම පිට වෙන මුත්‍රා කොටස ඉවත යාමට ඉඩ හැර ඊලඟ කොටස බෝතලය තුලට එකතු කර ගන්න. Urine culture සඳහා භාවිතා වෙන බෝතලය ජීවානු හරණය කල එකක් නිසා සාම්පලය එකතු කිරීමට පෙර බෝතලය සේදීමෙන් හා පිස දැමීමෙන් වලකින්න. Urine full report සඳහා මුත්‍රා සාම්පලයක් ගැනීමේ දී ඉහත ආරක්ෂක ක්‍රම භාවිතා කල යුතු වන්නේ නැහැ. සමහර අවස්ථා වල දී මුත්‍රා සාම්පලය ගැනීමට යටි බඩ ප්‍රදේශය සිරින්ජයකින් සිදුරු කිරීමට සිදු වෙනවා (Suprapubic puncture).   

යම් අවස්ථා වල දී ඔබෙ දරුවා ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමට සිදු වනු ඇති. ඒ අවස්ථා වන්නේ, මාස 2 සිට 24 දක්වා කාලයේ දී ඇති වන උණ, සුව වීම ප්‍රමාද මුත්‍රා ආසාදන, මුත්‍රා පිට කිරීමේ අසාමාන්‍යතා හා නැවත නැවත මුත්‍රා ආසාදන ඇති වීමයි.

මුත්‍රා ආසාදනයකට ප්‍රථිකාර කිරීම

ඉතා රෝගී ව දුර්වල ව සිටී නම්, මුත්‍රා මාර්ගයේ අවහිරතාවක් ඇත්නම්, වමනය නිසා ආහර පාන ගත නොහැකි නම් ඔබෙ දරුවා වහා ම රෝහලට යොමු කරන්න. මාසයකට අඩු වයස් ලදරුවන්ට ඇති වන සියලු ආසාදන හා මාස දෙකට අඩු දරුවන්ට උණ සමඟ එන ආසාදන නිසා රෝහල ගත වීම අත්‍යවශ්‍යයි. 

ඔබේ දරුවාට වැඩිපුර දියර වර්ග ලබා දෙන්න. අවශ්‍ය නම් වෛද්‍යවරු රෝහලේ දී දරුවාට  සේලයින් ලබා දෙනු ඇති. ප්‍රති ජීවක බෙහෙත් හා වේදනා නාශක බෙහෙත් වලින් මුත්‍රා ආසාදන සාර්ථකව පාලනය කල හැකියි.

.......

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL),

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook