මහා මාර්ගය, දරුවා සහ ඔබ…

Hits: 6730 times

වසරකට, ශ්‍රී ලංකාවේ දරුවන් 600කට වඩා රථවාහන අනතුරු නිසා මියයන බව ඔබ දන්නවාද? එමෙන්ම දරුවන් 2000කට වඩා අනතුරු නිසා බරපතල තුවාල සහ ඊට වැඩි සංඛ්‍යාවක් සුළු තුවාල ලබන බවත් නොරහසකි.  එහෙත් මේ බොහොමයක් අනතුරු, පහසුවෙන් වලක්වා ගතහැකි වූ ඒවා වීම කනගාටුවට කරුණක්.

 

ඔබ දරුවකු සමග මහමගට බසින සැමවිටකම, ඔහු හෝ ඇය යම් අවදානම්  තත්වයකට පත්වීමේ සම්භාවිතාවක් ඇතිබව සිහි තබාගන්න. පෙර සූදානමක් නොමැති වීම අනතුරු වලට අත වැනීමක් වැන්නකි.

පාරේ ගමන්කිරීමේදී…,

ඉතා කුඩා බිලිඳුන් ගෙනයාම අත්‍යාවශ්‍ය නම් පමණක්, හොඳින් ඔතා ගෙනයන්න.

ඇවිදින ළදරුවා, සැමවිටම අතින් අල්ලා ගෙන යායුතු අතර, දරුවාව කිසිවිටක පාර දෙසට තබාගෙන නොයන්න. 

සැමවිටම පාරේ දකුණු පසින් ගමන් කරන්න. එවිට ඔබට ඉදිරියෙන් එන වාහනත් එම වාහනවල රියදුරන්ට ඔබවත් මනාව පෙනේ. පදික වේදිකා තනා ඇත්නම්, සැමවිටම ඒවා පාවිච්චි කරන්න. 

දරුවා සමග පාර මාරුවනවිට සැමවිටම පදික මාරු කහ ඉර භාවිතා කරන්න. මෙය දරුවාට කදිම ආදර්ශයක් වේ. පදික මාරු පාලම් ඉදිකර ඇතොත්, එලෙස පාර මාරු වන්න. කහ ඉරක් අසල වුවත් සැමවිටම දකුණ වම බලා,වාහන නැත්නම් පමණක් පාර මාරුවන්න. සමහර මාර්ගවල ඇති පදික මාරු සඥා අනුව හෝ පොලිස් නිලධාරියෙක්  පාරමාරුවීමට සුදුසු යයි සඥා කරන තුරු හෝ ඉවසන්න. අත්තනෝමතික ලෙස මාර්ග හරහා යාම බොහෝ අනතුරු සිදුවන ක්‍රියාවකි.

මෝටර් බයිසිකලය සහ දරුවා

බිලිඳු දරුවන් මෝටර් බයිසිකලයේ රැගෙන යෑම අවදානම් ක්‍රියාවකි. හදිසි තිරිංග තදකිරීමකදී හෝ රථයක් සමග ගැටීමකදී, මෙලෙස  හරහට වඩාගෙන යන කිරිකැටියා විසිවී ගොස් බිම පතිතවීම, එම බිලිඳාගේ ජීවිතයට ප්‍රබල හානියක් සිදුකල හැක. 

පෙරපාසල් වයසේ දරුවන් රැගෙන යනවිටද සුදුසු අයුරින් ආරක්ෂිත හෙල්මට්භාවිතා කිරීම වැදගත්. එමෙන්ම දරුවාගේ හිසට වඩා විශාල හෙල්මට් භාවිතයද නිෂ්ඵල ක්‍රියාවකි. සැම විටම දරුවා විසි නොවනසේ අල්ලාගෙන යාමට වගබලාගන්න.

දරුවකු රැගෙන යනවිට මදක් සැලකිලිමත්වී අනවශ්‍ය ලෙස වාහන අතරින් වේගයෙන් නොපදවන්න.

මෝටර් රථ වල දරුවා ප්‍රවාහනය කිරීම.

ත්‍රී රෝද රථ වල දරුවන් ප්‍රවාහනයත් අවදානම් සහිත වන ප්‍රධාන හේතුව, එහිද ආරක්ෂක ආසන පටි නොතිබීමයි. එබැවින් දරුවන් කැටුව යන සෑම මොහොතකම වේගය පාලනයකින් යුතුව ගමන් කිරීම අත්‍යාවශ්‍යයි..

මෝටර් රථයක ළදරුවකු හෝ පෙර පාසල් වයසේ දරුවන් ගෙනයනවිට පිටුපස අසුනේ රැගෙන යන්න. වඩා සුදුසු දේ නම්, වාහනයට ළදරු ආසනයක් සවි කිරීමයි.

ළදරු ආසනය 

මෙය දරුවකු ප්‍රවාහනය කිරීමට ඇති ඉතාම සුදුසු ක්‍රමයයි. ආරක්ෂාකාරී ළදරු ආසනයක් මිලදී ගැනීමට මූලික වියදමක් දැරිය යුතු නමුත්, එමගින් ඔබේ දරුවා ඉතාම සුරක්ෂිතව දුර ගමන් පවා ගෙනයා හැක.

අදාළ උපදෙස් හොඳින් කියවා, ළදරු ආසනය ඔබගේ වාහනයේ පසු ආසනයකට සවිකරගන්න. ගමනාරම්භයේදී, සැමවිටම එය හොඳින් සවිවී ඇති බවට පරීක්ෂා කරන්න. පසුව, දරුවා මනාව ආසන පටි මගින් රඳවා ගන්න.

වැදගත් දෙය නම්, ළදරු ආසනයේ සිටින දරුවා දෙස හැරී බලමින් වාහනය පැදවීමෙන් වැලකීමයි. එසේ තම අවධානය ධාවන පථයෙන් ඉවත් කිරීම ඉතා අවදානම්. ළදරු ආසනයේ දරුවා හඬන්නේ නම්, සුදුසු ලෙස සඥා කර, වාහනය පාරේ පැත්තක නවතාගෙන, දරුවා ගැන අවධානය යොමු කරන්න.

දුරකථන භාවිතය.

දුරකථනය කනේ තබාගෙන තනි අතින් වාහනය පැදවීම, ඔබ ඔබේ දරුවාට වැරදි ආදර්ශයක් ලබාදීමක් මෙන්ම ඉතාම අනතුරුදායක කටයුත්තක්. මේ සඳහා “බ්ලු ටූත් හෙඩ් සෙට්” පළඳනාවක් පාවිච්චි ඉරීම යෝග්‍ය වේ. නමුත් හැකිතරම් දුරකථන සංවාද නොකර යාම වඩා ආරක්ෂාකාරී වේ. 

වාහනයේ තත්වය 

ගමනට කලින්, වාහනයේ බැටරිය, එන්ජිම, රෝද ,තිරිංග ආදිය මනාව ක්‍රියා කරනවාදැයි සැක හැර දැනගන්න.  

මේ කරුණු සිහිතබාගෙන මහමග යාම ඔබටත්, දරුවාටත්, මගතොට අනෙකුත් සියල්ලන්ටත් යහපතක් සිදුකරනු ඇති.

 

වෛද්‍ය දේවිකා ජයසේකර   

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook