දැනුවත්බව දිවි සුරකියි! දරුවන්ට ලිංගික අතවර වීම වලක්වා ගැනීමට අපට කල හැකි දේ…

Hits: 9941 times

මේ දිනවල හද සසළ කරවූ පුවත් කිහිපයක් දැක තවදුරටත් මේ පිළිබඳව මුනිවත රැකීම නුසුදුසු බව වටහාගත් මාතෘ අප කණ්ඩායම, අද ඔබට ගෙන එන්නේ අපගේ දරුවන් මෙවන් විෂම ක්‍රියාවන්ගේ ගොදුරු බවට පත් නොවීමට කල හැකි දේ කුමක්ද යන්නයි.

 

නිතර දරුවා පිලිබඳ විමසීම 

 ඇත්තටම මේ පිළිබඳව නම් ලියා නිම කල නොහැකි තරම්. ඔබගේ දරුවා පිළිබඳව ඔබ කොතරම් දුරට විමසිලිමත්ද? සමහර මව්පියවරුන් දරුවන් ඉතා කුඩා කාලයේදී විමසිලිමත් වුවත්, කෙමෙන් දරුවා ලොකුමහත් වනවිට ඔවුන් කරන්නේ කුමක්ද? බලන්නේ මොනවාද? ඇසුරු කරන යහළුවන් කව්රුන්ද? යානාදිය පිළිබඳව විමසා බැලීම අඩුකරන අතර, මෙය දරුවා මවපියන්ගෙන් ඈත්වීම මෙන්ම ඔහු හෝ ඇය විවිධ අනතුරු වලට ලක්වීම සඳහා හේතුවේ. ඔව්… දරුවන්ට ඔවුන්ගේ නිදහසත් ලබාදිය යුතුයි, නමුත් ඊට සමගාමීව ඔවුන් කරන කියන දෑ ගැනත් සංවේදී වීම වැදගත්.

ඔබ රැකියාවට ගොස් නැවත පැමිණෙන තුරු දරුවා රැක බලා ගන්නා අය කෙතරම් විශ්වාසවන්තද?

දරුවා සිටින දිවා සුරැකුම් ස්ථානයේ පවතින ආරක්ෂාව කෙබඳුද?

පාසල නිමවී දරුවා රැගෙන එන පාසල් වෑන් රියේ දරුවාට නිසි ආරක්ෂාව තිබේද?

පාසලේදී, අමතර පන්තියේදී, දරුවා සුරක්ෂිතද?

මේ පිළිබඳවත් නිරන්තරයෙන් විමසීමත්,විටෙන් විට අදාළ ආයතන හා පුද්ගලයින් විමර්ශනයට ලක් කිරීමත් වැදගත්.

දරුවා සමග කතා කිරීම 

 බොහෝ  ළමා අපචාර සිදුවන්නේ සිය පවුලේම හිතවත් පිරිමි පාර්ෂවය හෝ ඉතා ලඟින් ඇසුරු කරන පුද්ගලයන් මගින් බව සොයාගෙන ඇති අතර දරුවන්ට තර්ජනය කර හෝ දෙමව්පියන්ට නොකියන ලෙස පොරොන්දු කරවාගෙන මෙවන් අපචාර සිදුවේ. ඉතින්, දරුවා සමග හොඳ අන්‍යොන්‍ය සබඳතාවයක් පවත්වාගැනීම හා ඔහු හෝ ඇය ඔබ සමඟ විවෘතව කතා කිරීමට තරම් සුහද වීම සැමවිටම වැදගත්. එය, ඔවුන් සිදුකරන ක්‍රියාවන්ට සුදුසු ලෙස මගපෙන්වීමට හෝ, ඔවුන්ට යම් හානියක් යම් අයුරකින් සිදු වුවහොත්, අදාළ ක්‍රියාමාර්ග යුහුසුළුව ගැනීමට ඉවහල් වනු ඇත. 

ඔබේ දරුවා සිය දවස ගතකල අයුරු සහ හමුවූ පුගලයන් පිළිබඳව අසා දැනගන්න.

ඔබ ඔවුන්ගේ තොරතුරු අසා සතුටුවන බව පෙන්වනවිට දරුවාද ඉතා සතුටුන් සිය තොරතුරු ඔබසමග බෙදා හදාගනු ඇත.

දරුවාගේ චර්යාවන් වල හදිසි වෙනස් වීමක් ඔබ දුටුවහොත් වහාම ඒ පිලිබඳ විමසිලිමත් වන්න. සමහර පෙර පාසල් දරුවන් හදිසියෙන්ම අනවශ්‍ය ආකාරයෙන් සිය ලිංගික අවයව ස්ඵර්ෂ කරමින් පසුවීම, මුත්‍රා හෝ මලපහ කලපසු සේදීමෙදී අදාළ අවයව රිදෙන බව හැඟවීම, එසේත් නැතහොත් වැඩි වාර ගණනක් මුත්‍රා කිරීම ( මුත්‍රා ආසාදන තත්වයන්) කිසිවිටක නොසලකා හරින්න එපා.

මූලික ලිංගික අධ්‍යාපනය

සිය ශරීරයේ වටිනාකම දරුවාට අවබෝධ කරවිය යුතුයි. අනෙකකුට තම සිරුර ස්ඵර්ශ කිරීමට හෝ තමාව අපහසුතාවයට පත්වනසේ කිසිදු හැසිරීමක් කිරීමට ඉඩ නොදීම ආදී මූලික ශාරීරික ආරක්ෂණය පිලිබඳ දැනුමක් දරුවාට ලබා දීම අවශ්‍යයි.මුල් ළමා අවදියේ සිට ශරීර අවයවයන්හි නම් දරුවාට උගන්වන්න. සමහර ශාරීරික අවයව තමාට පෞද්ගලික බව වටහා දෙන්න.  

යම් අයුරකින් දරුවාට එවන් කටයුත්තකට පොළඹවා ගැනීමකදී අදාළ පුද්ගලයාගෙන් හෝ ස්ථානයෙන් ඉවත් වීමට උගන්වන්න. එලෙස කිසිවකුහෝ තමා අනවශ්‍ය ලෙස ස්පර්ශ කලොත් හෝ කරන්නට උත්සාහ කලොත් නොවැරදීම මවට හෝ පියාට දැන්විය යුතු බවත් කිසිවකුට දරුවාට හානි කිරීමට තමා ඉඩ නොදෙන බවත් වටහා දෙන්න.

දරුවා ක්‍රමයෙන් වර්ධනය වනවිට අදාළ වයසට අනුකුලව ලිංගික අධ්‍යාපනයද වෙනස්  විය යුතුයි. වැඩිවිය පැමිණි දරුවන්ට, තමා යම් ආකාරයක අනාරක්ෂිත ලිංගික චර්යාවක් සිදුකළහොත් අනවශ්‍ය ගැබ්ගැනීම් සිදුවීමේ ඇති අවදානම අවධාරණය කරන්න. සිය විරුද්ධ ලිංගික මිතුරන් ආශ්‍රය කිරීමේදී සහ වැඩිහිටියන් ආශ්‍රය කිරීමේදී  සීමා ඉක්මවා නොයන ආකාරය වටහා දීමෙන් ඔබට ඔබේ දරුවා සමාජයේ සුරක්ෂිත කල හැකියි. 

අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි වලින් කෙතරම් දරුවා ඈත් කරන්නට උත්සාහ දැරුවත්,  21වන සියවසේ දරුවන් එලෙස තාක්ෂණයෙන් වෙන් කල නොහැකියි. එබැවින් සැමවිටම දරුවා අනවශ්‍ය පෙළඹවීම් වලට හසු නොවී, සලෙළුන්ගේ ගොදුරක් නොවනසේ වෙබ් ලොව තුල සැරිසැරීමට තරම් දැනුවත් කරවීම අපගේ යුතුකමයි.

දරුවා සමාජයෙන් ඉගන ගනීවි යයි සිතා යම් යම් දේ ඔවුන්ගෙන් සඟවා තබා ගැනීම වර්තමානයේ දරුවන් නොමඟ යාමටත්, අපචාර රැල්ල වැඩිකිරීමටත් රුකුලක් වන බව මතක තබා ගත යුතුයි.පුවත්පත් සහ අනෙකුත් මාධ්‍ය වලින් යම් අපචාර පිලිබඳ ප්‍රවෘත්ති ප්‍රචාරය වනවිට එය දරුවාගෙන් නොසඟවා එවන් අවස්ථා වලක්වා ගැනීමට කලහැකිදේ පවුලේ අය එකදු පහදු වන අවස්ථාවන්හි සාකච්ඡා කලයුතුයි.

ශ්‍රී ලංකා ළමාරක්ෂණ පනත මගින්, මෙවන් අපචාර වැලක්වීමටත් අදාළ පුද්ගලයිනට නිසි දඬුවම් පැමිණවීමටත් අදාළ දරුවන්ගේ පුනරුත්තාපනය සඳහාත්  නීති සම්පාදනය කර ඇතත්, තවදුරටත් එම නීති ප්‍රතිසංස්කරණය වීම අවශ්‍ය වේ.

 මෙවන් තර්ජනයක් හෝ විපතක් දැනගත් වහාම 1929 අමතා, ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරියට දැන්වීම මගින් ඉතාම ඉක්මනින් සුදුසු කටයුතු ඉටුකරවා ගත හැකියි. 

අපි ආදර්ශමත් වැඩිහිටියන් ලෙස කටයුතු කරමින්, අපත් අන්‍යනුත් දැනුවත් කරවා, සමාජ ආරක්ෂණයේ වගකීම ඉටුකරලීමට නැගී සිටිමු.  

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook