ඔබේ දරුවා උසකින් වැටුනොත්?

Hits: 1122 times

“අනේ බලන්නකෝ!! මම පොඩ්ඩක් අනෙක් පැත්ත හැරුන විතරයි, බබා ඇඳෙන් වැටිලා නේ…. දැන් මොකද කරන්නේ…..?” දණ ගාන, ඇවිදින හෝ දුවන පනින දරුවකු නිතර වැටීම්, සීරීම් වලට ලක්වන එක වලක්වන්න කරන මහන්සිය දන්නේ අම්මලා විතරයි. ඉතින් ඇත්තටම මෙවන් දෙයක් උනොත් මොකද කරන්නේ?

 

කුඩා දරුවකු ඇඳෙන් හෝ කොට් එක වැනි අඩි 2-3 අතර උසකින් වැටුනොත්

කලබල වෙන්න එපා. එක්වරම රිදීම හා කම්පනය නිසා දරුවා තදින් හඬාවි. දරුවා රැගෙන සොලවන්න යන්න එපා. වැටුන, වැදුන ස්ථානය පරීක්ෂා කරන්න. තුවාල වී හෝ ගෙඩි ගැසී ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. දරුවාට වමනය ගියහොත් එසේ නැතහොත් ක්‍රියාකාරී බව අඩු නම්, වහාම දරුවා රෝහලකට රැගෙන යන්න.

දරුවා මීටත් වඩා උස තැනක සිට වැටුනොත්

වහාම දරුවාව රෝහලකට රැගෙන යන්න. එහිදී හදිසි අනතුරු අංශයට දරුවාව ඇතුළු කරාවි. වෛද්‍යවරුන්ට සිදුවූ දේ නොවලහා පවසන්න. දරුවා සිහි මුර්ජා උනාද? වලිප්පු තත්වයක් ඇති උනාද? කනෙන් හෝ නාසයෙන් ලේ පිට උනාද? වමනය කලාද? යන දෑ ඔවුන් ඔබෙන් අසාවි.

දරුවාව හොඳින් පරීක්ෂා කර අවශ්‍ය නම්, ස්නායු සම්බන්ධ විශේෂඥ උපදෙස් ලබා ගෙන, එක්ස් රේ හෝ සී.ටී. ස්කෑන් පරීක්ෂනයකට ඔවුන් දරුවා යොමු කල හැක. මෙලෙස උසක සිට වැටුණු දරුවෙක්, එසේ වැටුණු පසු බොහෝවිටම සාමාන්‍ය ලෙස සිටින නමුත්, එවන් දරුවකු රෝහල්ගතකර අවම වශයෙන් පැය 24ක් වත්, මොළය හා ස්නායු පද්ධතියට හානිවීමක් නිසා ඇතිවන රෝගලක්ෂණ මතුවේදැයි නිරීක්ෂණය කරනු ලැබේ. 

එහිදී දරුවාගේ හැසිරීම, සිහිය, ක්‍රියාකාරීත්වය ආදිය පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතුය. ඇසේ කනීනිකාවේ අසාමාන්‍යතා ,කථනයේ හෝ ඇවිදීමේ වෙනස්කමක්, ශරීරයේ වෙනත් අවයව වලට හානියක් වේදැයි සුපරික්ෂාකාරී විය යුතුයි. 

අස්ථි බිඳුමකදී, දරුවා අදාළ ප්‍රදේශය නොසොල්වගෙන සිටී.නිතර හඬයි. සමහර විට අදාළ ප්‍රදේශය ඉදිමී තිබිය හැකියි. ඔබට ඇල්ලීමට ඉඩ නොදෙයි. 

සමහර විටක වැදීමක් නිසා තුවාලයක් ඇතිවිය හැකියි. ඇහි බැම අසල, නිකට,හිස, වැලමිට, දණහිස මෙලෙස පැලීම් තුවාල (laceration) නිතර සිදුවන තැන් වේ.

දරුවා නොනවත්වා හඬන්නේ නම් එයත් ඉක්මන් වෛද්ය උපදෙස් සඳහා යොමුවියයුතු හේතුවකි. දරුවාගේ හැසිරීමේ ඔබට දැනෙන වෙනසක් වී නම් හෝ, වෙනදා මෙන් හොඳින් කිරි නොබී සිටියි නම් හෝ සෙල්ලම් නොකරන්නේ නම් ඒ දරුවා රෝහලකට ගෙනයා යුතුවේ.

 

මේ සියල්ලටම වඩා වටින්නේ දරුවා වැටෙන්නට හැකි අවස්ථා හැකිතාක්ම අවම වනලෙස නිවස සහ අදාළ ගෘහ භාණ්ඩ සකස් කිරීම සහ දරුවා ඉතාම සුපරික්ෂාකාරිව බලාකියා ගැනීමයි.

 

වෛද්‍ය දේවිකා ජයසේකර 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook