ඩවුන් සහලක්ෂණය

Hits: 1573 times

මාතෘ අපි, අද ඔබ සමග සාකච්ඡා කරන්නේ ඩවුන් සින්ඩ්‍රෝමය එසේත් නැතිනම් ඩවුන් මොන්ගොලියතාව ලෙස හඳුන්වන තත්වයක් ගැන. 

 

මෙවැනි දරු උපත් ඇතිවීමට හේතු

ජානගත තත්වයක් වන මෙය, ශරීරයේ 21 වැනි අලිංග වර්ණ දේහ යුගලය, වර්ණදේහ ත්‍රිත්වයක් වීම (Trisomy 21) නිසා ඇතිවේ.

වයස 35ට වැඩි ගර්භනී මවකට මෙවැනි දරුවකු බිහිවීමට ඇති සම්භාවිතාවය, ඊට අඩු වයසකදී ගර්භනී වන මවකට වඩා වැඩි වීම සුවිශේෂයි. පියාගේ වයස වැඩිවීම, මේසඳහා හේතුවක් ලෙස හඳුනාගෙන නැත. 

 

මෙවන් දරුවන්ගේ ලක්ෂණ

මෙවන් දරුවන් උපතින්ම යම් විශේෂ ශාරීරික ලක්ෂණ ඇතිව සහ මානසික දුර්වලතා හෝ අධ්‍යාපන අපහසුතා ඇතිව පුළුවනි.

ශාරීරික ලක්ෂණ.

  • දරුවාගේ වර්ධනය මන්දගාමී වේ.
  • අඩු මාංශ පේශි තානතාවය (muscle tone ) - පේශිවල අප්‍රාණිකතාව 
  • කෙටි පළල් ගෙලක් තිබීම 
  • කෙටි හා පළල් අතැඟිලි, පළමු හා දෙවන පා ඇඟිලි එකිනෙකට ඈත්ව පිහිටීම. හිස හා මුහුණේ ලක්ෂණ 
  • උඩු අතට ඇලවුණු කුඩා දෙනෙත් පිහිටීම පැතලි වූ නාස් පොල්ලක් තිබීම කුඩා වූත් පහත්ව කන් දෙක පිහිටීම. දිව එලියටවී පිහිටීම (මුඛය විවරවී තිබීම.) 

වෙනත් සෞඛ්‍ය ගැටළු 

  • මන්දගාමී බුද්ධි වර්ධනය හෘද රෝග
  • 50%කට වැඩි දරුවන් හෘද කුටීර වල අසාමාන්‍යතා සහිතව උපදී
  • තයිරෝයිඩ ඌනතාව
  • අක්ෂි ආබාධ
  • ශ්වසන රෝග
  • මලබද්ධය හා මහාන්ත්‍රය සම්බන්ධ අසාමාන්‍යතා
  • විෂාධය, ඔටිසම් සහ අනෙකුත් චර්යා සම්බන්ධ විෂමතා 

හඳුනා ගැනීම සහ වලක්වා ගැනීම 

දැන් මෙවැනි දරු උපත් මුල් ගැබිණි සමයේදීම හඳුනා ගැනීමට නවීන වෛද්‍ය තාක්ෂණය (ස්කෑන් පරීක්ෂණ) දියුණු වී ඇති අතර, ජාන තාක්ෂනය මගින් රෝගයේ තීව්‍රතාව වටහා ගත හැක. වරක් මෙවන් දරුවකු ප්‍රසූත කල මවකට, නැවතත් එවැනිම දරුවකු ලැබීමට ඇති අවදානම දෙගුණ වන බැවින්, උපදේශනය සහ පවුල් සැලසුම් පහදා දීම වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලැබේ.

අධ්‍යාපනය සහ සුභසාධනය 

මේ කෙසේ වෙතත්, සෑම දරුවෙක්ම වටිනා සම්පතක්. ඇත්තවශයෙන්ම ඩවුන්ස් දරුවන් ඉතාම ආදරණීය සහ ප්‍රීතිමත් දරුවන් ලෙස හැමගේම සිත දිනාගන්නා බව නොරහසක්. දෙමාපියන් ලෙස මෙවන් දරුවකු රැකබලා ගැනීමේදී, නිසි කලට නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ ශල්‍ය කර්ම සඳහා යොමුවීම, විශේෂිත පාසල් හෝ මානසික වර්ධන ක්‍රියාකාරකම් සඳහා දරුවා උනන්දු කරවීම ඉතාම වැදගත්.

විශේෂිත පාසල් මගින් මොවුන්ව ස්වයං රැකියාවකට හුරු කරවා සමාජයීය ආචාර ධර්ම ප්‍රගුණ කරවා, සමාජයට බරක් නොවී, තමන්ගේ කටයුතු තමන්ටම ඉටුකර ගැනීමට හැකි නිදහස් පුද්ගලයින් බවට දියුණු කරවයි. නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන මගින් මෙවැනි දරුවන් සහ පවුල් වලට සිදුකරන සුභසාධන කටයුතු ප්‍රශන්ෂනීයයි.

රාජ්‍ය තොරතුරු සේවාව සහ රෝහල් මගින්, මෙවැනි ආයතන පිලිබඳ තොරතුරු ඔබට ලබා ගත හැක. 

 

අපි යම් විටක මෙවැනි දරුවකු දුටුවහොත්, ඒ මව හා දරුවා වෙත, හුදු අනුකම්පාවක් පමණක් නොදක්වා, ඔවුන්ව අපිට හැකි අයුරින් ධෛර්යමත් කරවීමටත්, ප්‍රගමනය කරා යොමුකරවීමටත් පියවර ගනිමු. 

 

වෛද්‍ය දේවිකා ජයසේකර

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook