මස්තිෂ්ක ආඝාතය නොහොත් සෙරෙබ්‍රල් පොල්සි (Cerebral Palsy )

Hits: 2736 times

මොළය කියන්නේ පුද්ගලයෙකුගේ තීරණ ගැනීමේ වගේම ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අංගයක් බව ඔබ සියළු දෙනාම දන්නා කරුණක්. ඉතින් දරුවෙකු උපදින විට හෝ ඒ ආසන්න කාලයේ මොළයට සිදුවන හානියක් නිසා ජීවිත කාලයටම පවතින ගැටළු සහ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මේ මස්තිෂ්ක ආඝාතය. අපි ඒ ගැන විමසා බලමු...

මස්තිෂ්ක ආඝාතය යනු කුමක්ද?

වර්ධනය සිදුවෙමින් පවතින මොලයේ ඇතිවිය හැකි, නැවත යථාතත්වයට පත් නොවන අකර්මන්යතාවක් සෙරෙබ්‍රල් පොල්සි / මස්තිෂ්ක ආඝාතය ලෙස සැලකේ. සරලව ගත්කල මධ්‍යම ස්නායු පද්ධතියේ සිදුවන හානියක් නිසා ඊට අදාලව ශරීරයේ ඇතිවන දිගුකාලීන අක්‍රියභාවය සහ අතුරුඵල මෙහිදී සැලකිය හැක. ඇත්තෙන්ම මෙහිදී, මොලයට මූලිකව හානිය සිදුවූ පසු, අනතුරුව ඇතිවන ස්නායු සෛල වලට හානි සිදු නොවුනත්, අදාළ මූලික හානිය නැවත ප්‍රතිසංස්කරණය නොවීම නිසා,දරුවා කායිකව හා මානසිකව දුර්වල, ආඝාත තත්වයකට පත් වේ. මොලයට සිදුවූ හානියේ ප්‍රමාණය, පසුකාලීන ආබාධිත තත්වයේ බරපතල භාවයට හා සංකූලතාවන්ට කෙලින්ම බලපායි.  

මේ තත්වය ඇතිවන්නේ කෙසේද?

ශ්‍රීලංකාව තුළ, සෙරෙබ්‍රල් පොල්සි සහිත පුද්ගලයින් 40,000ක් පමණ (2014) හඳුනාගෙන ඇති අතර මොලයට ඇතිවන මෙවන් හානි, දරුවකු මවුකුසතුල සිටින විට, දරු උපතේදී හෝ ඉපදී සුළු කාලයක් ඇතුලත සිදුවිය හැක.

  1. මොලයට ඔක්සිජන් සැපයීමේ බාධා, (උපතේදී හුස්ම ගැනීමට ඇතිවන බාධා, අඩු බර,නොමේරු ළදරු උපත්….)
  2. මොලයේ අසාත්මිකතා ( මෙනින්ජයිටිස්, වෛරස් ආසාදන)
  3. දරු ප්‍රසූතියේදී බිලිඳාගේ මොළයට ඇතිවන ආබාධ ( ප්‍රසූති අඬු , වැක්යුම් ප්‍රසූති ක්‍රමය සහ වෙනත්..)

ආදිය මෙම තත්වයට මූලික හේතු වේ.

මෙවැනි දරුවකු හඳුනා ගන්නේ කෙසේද?

මෙවන් දරුවන් උපතේ සිටම ශාරීරික වර්ධනය බාල වීම හෝ අදාළ වර්ධන කඩඉම් සාර්ථකව පසුනොකිරීම පෙන්වයි. මොලයේ ස්නායු හානිවීම නිසා දුර්වල ලෙස අත්පා සහ හිස කඳ පාලනය වීම, ඇවිදීම සහ ශරීරය සමබරව තබාගැනීම අසීරු වීම මෙවන් දරුවන්ගේ දක්නට ලැබේ. මෙනිසා සමහර දරුවන් සදාකාලිකව රෝදපුටුවකට හෝ එක්තැන් වීම අභාග්‍ය සම්පන්න තත්වයකි.

තවත් දුර්භාග්‍යක් වන්නේ ආහාර ගිලීමට නොහැකි තත්වයක් ඇත්නම්, දිගු කාලීනව බටයක් මගින් පෝෂණය ලබා දීම හා එවිට ඇතිවන මන්දපෝෂණ තත්වයයි.

බොහොමයක් දරුවන් මන්ද මානසික තත්වය ඇතිබවට හඳුනා ගන්නා අතර කථන හා අදහස් ප්‍රකාෂ කිරීමේ දුර්වලතාද, එසේත් නැත්නම්, ඉගෙනීමේ දුර්වලතාද සහිත වේ.

නමුත් මින් සමහර දරුවන්, ඇවිදීමේ හැකියාව හෝ දෑත් ක්‍රියාකාරීත්වයට හැකියාව සහිතවද, සාමාන්‍ය මානසික තත්වයද සහිතව හමුවිය හැක. 

සංකූලතා 

  • අංග විකලතාව ( අත්පා සිහින් වීම, විකෘති වීම)
  • සිරුරේ අක්‍රමිකතා
  • මානසික දුර්වලතා
  • අපස්මාරය
  • ආහාර ගිලීමට ඇතිවන දුර්වලතාව
  • මන්දපෝෂණය
  • ශ්වසන ආබාධ
  • එක්තැන් වීම නිසා ඇතිවන අතුරු ආබාධ. (චර්ම ආසාදන හා තුවාල, ආන්ත්‍රික ආබාධ) වෙනත් ආසාත්මිකතාවනට නිතර ගොදුරුවීම 

මෙවන් දරුවන්ට ඇති ප්‍රතිකර්ම මොනවාද?

මෙම තත්වය ජීවිත කාලය පුරාවටම පවතින බැවින්, මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වාගැනීම ඉතා වැදගත්. ඒ සඳහා:

  • ආරක්ෂාකාරී ගර්භනී කාලයක් පවත්වා ගැනීම
  • දරු ප්‍රසූතියේදී සැමවිටම ආරක්ෂා කාරී පියවර ගැනීම
  • රෝහල් යටිතල පහසුකම් නැංවීම

ප්‍රධාන වශයෙන් මෙවන් දුර්වලතා ඇති දරුවන් සංවර්ධනය හා පුනරුත්ථාපනය මගින් ඉටු කරන්නේ, හැකි උපරිමයෙන් ඔවුනගේ එදිනෙදා වැඩ කටයුතු ස්වාධීනව ඉටු කරගැනීමට පුහුණු කිරීමයි. පහත ක්‍රියාවන් වලින් එය සිදු කර ගත හැක.

  • චලන හා ක්‍රියාකාරකම් සංවර්ධනය
  • භෞත චිකිත්සක ක්‍රම (physiotherapy / occupational therapy) ඇවිදීම සඳහා ආධාරක, රෝද පුටු, විශේශිත පාවහන් පූර්ව ළමා සංවර්ධන ක්‍රියාකාරකම් විකෘතිතා නිවැරදි කිරීමේ ශල්‍යකර්ම 
  • කථන හා සන්නිවේදනය වැඩිදියුණු කිරීම 
  • කථන අභ්‍යාස සන්නිවේදන සංවර්ධන ක්‍රියාකාරකම් වල නිරත කරවීම ශ්‍රවණ පරීක්ෂනය සහ අදාළ ශ්‍රවන උපාංග සැපයීම
  • දෘශ්‍ය හා මානසික වර්ධනය 
  • ඇස් පරික්ෂාව සහ උපැස් ලබා දීම
  • සියුම් චලන සහ මානසික වර්ධනයට ඉවහල් වන ක්‍රියාකාරකම් වල නිරත කරවීම.

වෙනත් 

  • අපස්මාරය, ශ්වසන ආබාධ ආදිය සඳහා ප්‍රතිකාර කිරීම. මාංශ පේශි සැහැල්ලු කරවන ඖෂධ ලබා දීම මානසික ප්‍රතිකාර පෞර්ෂ වර්ධනය.

සුභ සාධනය

මෙවැනි දරුවන් සඳහා විශේශිත පාසල් සහ පුහුණු අංශ රජයෙන් සහ පෞද්ගලික මට්ටමෙන්ද, NGO ආයතන මගින්ද ක්‍රියාත්මක වේ. ප්‍රධාන රජයේ රෝහල්වල ළමා වාට්ටු සහ සායනමෙන්ම, පෞද්ගලික රෝහල්ද, මෙවන් දරුවන්ට විශේෂිත ප්‍රතිකාර ලබා දෙනු ඇත. 

වෛද්‍ය දේවිකා ජයසේකර 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook