දරු උපතට ඔබේ සැමියා සූදානම් ද?

Hits: 48743 times

දරු පැටියෙකු මෙලොව එළිය දැකීම කියන්නේ මවකගේ වගකීමෙන් පමණක් කෙරෙන කාර්යයක් නොවේ... උතුම් වූ මවුතුමියගේ වගේම ආදරණීය පියාණන් අතිනුත් දරුවකුගේ ජීවිතයේ රඟ දැක්වෙන භූමිකාව සරළ හෝ පහසු එකක් නොවේ. ඉතින් ඒ නිසාමයි ටී එම් ජයරත්න මහතාගේ ගීයෙන් කියවෙන්නේ  "පිය සෙනෙහස වෙනුවෙන් කවි ගී ලියවුනා මදී" කියලා. අපි අද බලමු දරු උපතකට මවක් සූදානම් වද්දී පියතුමන්ගේ කාර්යභාරය කෙසේද කියලා...

අපි දන්නවා ඕනෑම පිරිමියෙකු සහ ගැහැනියක අතර සම්බන්ධතාවයකදී දෙදෙනා අතර අවබෝධය කෙමෙන් කෙමෙන් වර්ධනය කර ගත යුත්තක් බව. පිරිමින් සහ ගැහැනුන් ලෝකය දෙස බලන ආකාරය සහමුලින්ම වෙනස් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එවිට ඔබ දෙදෙනාම උනන්දුවක් සහ වෙහෙසක් දැරිය යුතුයි අනෙක් පස ගැන තේරුම් ගැනීමට. මෙය ඇති කර ගැනීම සඳහා පැහැදිලිව කථා බහ කර ඔබේ ස්වාමි පුරුෂයාත් එදිනෙදා කටයුතු වල කොටස් කරුවෙක් කර ගන්න. සමහර විට ඔබ ඔහුට පවරන දේවල් 100%ක්ම නිවැරදිව කරන එකක් නැහැ. නමුත් ටිකෙන් ටික ඔහුට මෙහි කොටස් කරුවෙක් වන්න ඉඩ නොදුන්නොත් ඔහු හුදෙකලා වේවි. එපමණක් නොවේ, ඔහු බිය වේවි යමක් කිරීමටත්...

* ඔබ දෙදෙනාගේ කැදැල්ල සැදීම සහයෝගයෙන් කල යුතුයි...

ලස්සන කුරුළු පැටවූ මෙලොව එලිය දකින්න කලින් කුරුළු අම්මලා තත්තාලා එකතු වෙලා කූඩු තනනවා ඔබ දැක ඇති නේද? ඉතින් අපේ මිනිස් ලොවේ කැදැල්ල තනනවා කියන්නේ හුදෙක්ම නිවසක් තැනීම පමණක් නොවේ. මෙහිදී පියාණන් වශයෙන් ඔබේ කාර්ය භාරය ඊටත් වඩා පුළුල්. ඔබ නිවස පිරිසිදු කර දරු පැටියා ගෙන එන්නට පිළියෙළ කරන්නත් ඕන, දරු පැටියා තබන කාමරයේ ඔහුට හෝ ඇයට කරදරයක් නොවන සේ (මදුරුවන් නොඑන ලෙස දැල් ගැසීම, අනෙකුත් කෘමීන්, සර්පයන් ඇතුළු වන තැන් වසා දැමීම), නිවසට අවශ්‍ය අවම පහසුකම් (වතුර උණු කිරීමට ක්‍රමයක්, සෞඛ්යාරක්ෂිතව ජලය ලබා ගැනීම සහ ආහාර පිසීමට පරිසරයක් සකස් කිරීම), තොටිල්ලක්, කොට්ට මෙට්ට ආදිය නිසි ලෙස තිබේද යන්න ස්වාමි පුරුෂයා සොයා බැලිය යුතුයි. එපමණක් නොවේ, නිවසේ සුදුසු මානසික පරිසරයක් ඔබ පවත්වාගෙන යනවාද යන්න ගැනත් හොඳින් සිතා බලන්න. ඔබේ බිරිඳ දස මසක් වේදනා විඳිමින් උතුම් මාතෘත්වයට සුඋදානම් වන විට ඔබ ඇයට මානසික ශක්තියක් විය යුතුයි නේද? නිතරම ඇයට සවන් දෙන්න... ඇය ඇතැම් මැසිවිලි නගන්නේ ඔබෙන් විසඳුමක් ඉල්ලමින් නොව ඇගේ සිත සැහැල්ලු කර ගැනීමට විය හැකියි. එයට බාධා නොකර සාවධානව ඇහුම්කන් දෙන්න.

* රෝහලට / සායනයට යැමේදී

අද කාලයේ කාර්ය බහුල බව නිසා බොහොමයක් යුවල වලට සියලුම සායන වලට දෙදෙනාම එකට යන්නට ඉඩ ලැබෙන්නේ අඩුවෙන්. නමුත් හැකි සෑම විටම ඔබත් ඇය සමග සායනයට යෑමට උත්සහ කරන්න. විශේෂයෙන්ම අන්තිම සති 8 පමණ නිතර නිතර සායනයට යෑමට සිදුවේවි. එනිසා ඔබ කාර්ය බහුල පිරිමියෙකු නම් කල් තියාම දරුවා ලැබීමට මාසයක් වන කාලය වන විට තම බිරිඳ වෙනුවන් ගත කිරීමට කාලය ලැබෙන සේ වැඩ කටයුතු සැලසුම් කර ගන්න. ඒ අතර මතක තබා ගන්න ඔබ තවමත් දරු උපතක් සැලසුම් කරනවා නම් තම බිරිඳ ගර්භණී බවට පත් වූ වහාම පළමු වෛද්‍ය හමුව සහ "දින දැනගැනීමේ ස්කෑන් පරීක්ෂාව" සඳහා ස්වාමි පුරුෂයාත් ඇය සමග යන්නේ නම් ඉතා සුදුසුයි. පැරණි කාලයේ මෙන් නොව නවීන වෛද්‍ය වරුන් බිරිඳ සහ ස්වාමි පුරුෂයා යන දෙදෙනාම දරු ගැබේ වර්ධනය, දරු උපත සිදුවන ආකාරය (සාමාන්‍ය දරු උපත සඳහා "එපිඩියුරල්" ක්‍රමය, සිසේරියන් සැත්කමක් අවශ්‍යද යන්න) ආදිය ගැන හොඳින් කරුණු පහදා දෙනු ඇත. සති 20ක් පමණ වන විට ඔබට මතු උපදින දරුවා පිරිමි දරුවෙක්ද/ ගැහැණු දරුවෙක්ද යන්න ස්කෑන් පරීක්ෂාවක් මගින් දැන ගත හැකියි. ඉතින් ස්වාමි පුරුෂයා වශයෙන් මෙම විශේෂ අවස්ථාවේ බිරිඳ සමගින් ඔබත් හිටියොත් අපූරුයි නේද?

* දරු උපත ලං වන විට ස්වාමි පුරුෂයාගේ කාර්ය භාරය

දරු උපත ලං වන විට විවිධ ලක්ෂණ පෙන්නුම් කරනු ඇති. විශේෂයෙන්ම නිසි දිනය ලං වන විට ගර්භණී මාතාවට වේදනාවන් දැනෙනු ඇත. සමහර විට මෙය ඉතා තියුණු ලෙස දැනී ඇය සිතිය හැකියි ඇත්තම දරු උපත ඉතා ආසන්න බව....නමුත් අඩු කාලයකින් නැවත එම වේදනාව නැතිවී යනු ඇති... එනමුත් ස්වාමි පුරුෂයා නිතරම අවධානයෙන් සහ සුඋදානමින් සිටිය යුතුයි. මෙම කාලයේ ඔබේ බිරිඳ නිතරම කොන්දේ අමාරුවෙන් පීඩා විඳිනු ඇති. එවිට ඇයව හැකි තරම් සුව පහසු තත්වයට පත් කරන්න. <passing the mucus plug etc..>. ඔබේ බිරිඳගේ ප්‍රසූත වේදනාවන් දිගින් දිගටම යම් කිසි රටාවකට, එනම්; විනාඩි 5 කට වරක්, එක වරකට තත්පර 30ක් බැගින් ඇති වෙමින් පැයක් පමණ පවතී නම් රෝහල වෙත යාමට සූදානම් වන්න. එනිසා අවසාන මාසය වන විට ඔබ රෝහල වෙත ගෙන යන ඇඳුම්, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, පනා ආදී සියලුම දේ සුදුසු ගමන් මල්ලක බහා ගෙනයාමට සූදානම් කර පහසුවෙන් ගත හැකි තැනක තබන්න. ඒ වගේම දරු උපත සිදු කරන රෝහලට යන කෙටිම සහ අවදානම් අඩුම මාර්ගය, යම් ආකාරයකින් එම මාර්ගය අවහිර වී ඇති නම් යා හැකි වෙනත් මාර්ග ආදියත් දැනුවත්ව සිටින්න. ඔබේ එම දිනයන් ආසන්නයේ රාජකාරි සඳහා බැහැරව සිටී නම් කුලියට ලබා ගත හැකි ගිලන් රථයක් හෝ වෙනත් වාහනයක් ලබා ගන්නා ආකාරය ගැන ඔබේ බිරිඳ සහ ඇගේ භාර කරුවන් දැනුවත් කර තබන්න.

* දරු උපත සිදුවන දිනය...

ඔබ සිසේරියන් නොවන සාමාන්‍ය ආකාරයට දරුවා බිහි කිරීමට තීරණය කලේ නම් එය මහත් වේදනා දැනෙන අත්දැකීමක් වනු ඇත.

ඔබ දන්නවාද ලොව ඇති ශරීරයට ඉතාම වේදනා දැනෙන අත්දැකීම දරු උපතක් බව? එය ඔබේ සිරුරේ අස්ථි සියල්ල එක වර කඩා දැමීමේදී දැනෙන වේදනාවටත් වඩා වැඩි යයි සඳහන් වෙනවා. එනිසා ඔබේ බිරිඳ සමගින් එම වේදනාවෙන් බිඳක් වත් ඔබට බෙදා ගැනීමට නොහැකි උනත් අවම වශයෙන් ඇයට මානසික ශක්තියක් වන්නට උත්සාහ කරන්න. සමහර විට ඇය තරහ ගනීවි, නුරුස්සන ලෙස කථා කරාවි... මේ සියල්ල ඔබ ඉලක්ක කරගෙන නොවේ... ඒ මොහොතේ වේදනාව සහ මානසික පීඩනය නිසා වන දෙයක්... අද කාලයේ සමහර රෝහල් වල වෛද්‍ය වරයාගේ සහ ඔබේ බිරිඳගේ අනුමැතිය අනුව ඔබටත් දරු උපත සිදුවන අවස්ථාවේ බිරිඳ සමග සිටිය හැකියි. එම මොහොතේ ඉතා සංවේදීව ක්‍රියා කල යුතුයි. ඇයට පහසු සහ සිතට ශක්තියක් වන සේ ඔබ ඇගේ අතින් අල්ලා සිටිය යුතුද, නැත්නම් හිස පිරිමැදිය යුතුද යන්න ඔබ පෙර සිටම දැන සිටිය යුතුයි...

වරකට තත්පර 40ත් 60ත් අතර පවතිමින් විනාඩි 3ට හෝ 5ට වරක් දැනෙන වේදනාවන් වලින් කියවෙන්නේ දරු උපත තවත් පැය 6ක් පමණ ඇතුලත සිදුවිය හැකි බවයි. එනිසා මේ වන විට ඔබත් මානසිකව සුදානම් විය යුතුයි. ඉන් පසු ටිකෙන් ටික වේදනාව වැඩිවන අතර පවතින කාලයද වැඩිවනු ඇත. තත්පර 90 දක්වා වේදනා පවතින කාලය වැඩිවන අතර ඉන් පසු උච්ඡතම අවස්තාවේදී දරු උපත සිදුවේ. මෙම උච්ඡතම අවස්තාව පැයක් පමණ පැවතිය හැකි අතර වේදනාව අඩු කිරීමට බෙහෙත් භාවිතා කරන "එපිඩියුරල්" ක්‍රමය යටතේ නම් ඊට වඩා වැඩි වෙලාවල් වුවත් පැවතිය හැක. ඉන්පසු දරුවා බිහි කල විට පෙකණි වල කපා ඉවත් කිරීමත්, වැදෑමහ ඉවතට පැමිණීමත් සිදුවේ. මේ සියල්ල සිදුව අවසාන වන තුරු ඔබ ඉවසිල්ලෙන් අය සමග සිටින්න. එය ඇයට සදා අමතක නොවන මොහොතක් වේවි.

* දරු උපතින් පළමු දිනය සහ සතිය

උපත සිදු වූ වහාම ඇයට එම වෙහෙසකර අත්දැකීමෙන් ප්‍රකෘති තත්වයට පැමිණිමට ඉඩ දෙන්න. ඔබ දන්නවාද සමහර මවු වරුන්ගේ මානසික තත්වය දරු උපත සමග වෙනස් වී කාංසා ගතියක් ඇතිවන බව? ඔබත් ඔබේ පවුලේ අයත් මෙය තේරුම් ගත යුතුයි. එය යම්කිසි අමනුෂ්‍ය දෝෂයක් නිසා සිදුවන්නක් නොවේ. දරු ප්‍රසුතිය සමග මුහුණ දුන් කායික සහ මානසික පීඩනය නිසාත් එක්වරම දරා ගත නොහැකි තරම් සතුටක් දැනුන නිසාත්, මේ සියල්ල ඉතා කෙටි කාල රාමුවක් තුල සිදු වීම නිසාත් අය යම් කිසි වෙනස්කම් පෙන්වනු ඇති. ඇයට සැහැල්ලු වීමට ඉඩ දෙන්න. ඇයට අවශ්‍ය නම් කථා බහ නොකර නිහඬව සිටීමටත්, ඇය අදහස් පල කරමින් කථා කරන්නේ නම් එයට බාධා නොකර අසා සිටීමටත් වග බලා ගන්න.

මේ ආකාරයට නිසි අවබෝධයෙන් යුතුව ස්වාමි පුරුෂයා බිරිඳට ශක්තියක් වෙමින් ඇය සමග සිටී නම් ඔබේ දරුවාට ඉතා යහපත් සහ ආදර්ශමත් පවුල් පසුබිමක් ගොඩ නගා දීමට හැකියාවක් ලැබේවි.

.................

Article verified by: Dr. (Mrs) Kaushalya Mendis
.................

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........



Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook