මවක් වීමට සැලසුම් කරන ඔබට අත්‍යවශ්‍ය ශාරීරික ව්‍යායාම

Hits: 23102 times

අද සමාජයේ කාර්යබහුල ජීවන රටාවත් සමග ඔබේ සුවතාවය පිරිහීමට ඕනෑවටත් වඩා අවස්ථා තිබෙන බව රහසක් නොවේ. නමුත් අපි හැමෝම දන්නවා ලෙඩ රෝග වලින් වැලකී සිටින මවකට තම දරුවන්වත් ලෙඩ රෝග වලින් වලක්වා ගැනීමේ හැකියාව වැඩි බව... ඉතින් තරුණියක් වන ඔබ අද සිටම නිසි ශාරීරික ව්‍යායාම අනුගමනය කලොත් ගර්භණී සමයේත් ඉන් පසුවත් ගැටළු අවම කර ගත හැකි වේවි.

වෘත්තියමය ක්‍රීඩිකාවක් හැරුණ විට සාමාන්‍ය රැකියාවක නියුතු හෝ නිවසේ සිටින තරුණියකට අවශ්‍ය වන්නේ ඉතා සරල ව්‍යායාම පෙළක් පමණයි. එය මුලික වශයෙන් සිරුරේ මේද දහනය, හදවතේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පවත්වා ගැනීම, නම්‍යතාව වැඩි කර ගැනීම සහ අනාගතයේදී දරුවකු බිහි කිරීමේදී අවශ්‍ය දරා සිටීමේ හැකියාව වැඩි කර ගැනීම ආදිය සඳහා විය යුතුය. එනිසා ඔබට ව්‍යායාම මාලාවක් තෝරා ගැනීම ඉතා පහසු දෙයක්.

ශාරීරික ව්‍යායාම නිසා ඔබට අත්වන වාසි

එමගින් ඔබේ හදවතේ මනා ක්‍රියාකාරීතත්වයක් ඇතිවී ශරීරයේ රුධිර ගමනාගමනය මනා ලෙස සිදුවනු ඇත. ව්‍යායාම නිසා ශරීරයේ ඇති අනවශ්‍ය මේද දහනය වන අතර ස්ථුලතාවය නැතිවී සුන්දර සිරුරක්ද උරුම කර දෙයි. ඒ සමගම ඔබ PCOS නම් තත්වයෙන් පීඩා විඳින්නේ නම් එහි ඇති බලපෑම ව්‍යායාම වල නිරතවන කාන්තාවන්ට අඩු බව නිරීක්ෂණය කර ඇත. මේ සියල්ලත් සමග ඔබේ මානසිකත්වයද ව්‍යායාම් කරන විට ඉතා යහපත් තත්වයකට හැරෙන අතර, අඹු සැමියන් ලෙස ඔබේ සම්බන්ධතාවය මනා ලෙස පවත්වා ගෙන යෑමටද එය ඉවහල් වේ.

නිවැරදි දිනය එනතුරු කියමින් කල් ගත කරන්න එපා...

බොහොමයක් තරුණයන් සහ තරුණියන් ව්‍යායාම කරන්නට උනන්දු වන්නේ තමන්ට අයහපත් ලෙඩ රෝගයක් වැළඳීමේ අවදානමක් තිබෙන සලකුණු පෙනෙන්නට පටන් ගත විට පමණයි. මෙය ඉතා අවාසනාවන්ත තත්වයක්. එසේම සමහරුන් සිතනවා තමන් විවාහ උත්සවය හෝ දරු උපතක් සැලසුම් කරන කාලය වෙන තුරුම සිටිය යුතුය කියා... තවත් සමහරුන් සිතනවා රාජකාරී ස්ථානයේ එහා මෙහා ඇවිදින නිසාත්, වෙහෙස මහන්සිය දැනෙන නිසාත් ව්‍යායාම අවශ්‍ය නැති බව. මෙය ඉතාම වැරදි අදහසක්. එයට හේතුව ඔබ රාජකාරී ස්ථානයේ එහා මෙහා ඇවිද්දත්, ශරීරයට යම් වෙහෙසක් දැනුනත්, එසේ වන්නේ ඔබේ හදවත මනා ලෙස ක්‍රියා කරමින් නොවේ. එනිසා ඔබ කල් නොහැරම - විවාහ උත්සවය වෙනුවෙන්වත්, දරු උපතක් වෙනුවෙන්වත් සිරුර හද කර ගැනීමට නොසිට - අද සිටම සුළු වශයෙන් හෝ හදවත මනා ලෙස ක්‍රියාකාරී වන සහ ඉහත දක්වූ නම්‍යතාව, දරා සිටීමේ හැකියාව ආදිය වර්ධනය වන ව්‍යායාම පෙළක් තෝරාගෙන කරන්නට පටන් ගන්න...

ඒකාකාරී බවෙන් මිදෙන්න / ඔබට සතුට ගෙනෙන ව්‍යායාමයක් කරන්න 

ව්‍යායාම තෝරා ගන්න විට ඔබේ කැමැත්ත වැඩි ව්‍යායාම පෙළක් තෝරා ගැනීම ඉතා සුදුසුයි. තමා කැමති එකම ව්‍යායාමයක් නොව කිහිපයක් තෝරාගෙන මාරුවෙන් මාරුවට එහි නිරත වන්න. එකම දෙය නිතර නිතර කරන විට ඔබට එය එපා වීම පුදුමයක් නොවේ. එය ව්‍යායාම වලටත් බලපානවා. සමහර ව්‍යායාම ඔබට තනිවම සිතමින් අවධානය යොමු කරමින් කරන්න පුළුවන් (උදා: මඳ වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම ආදිය) තවත් සමහර ව්‍යායාම ඔබට තවත් කෙනෙක් හෝ කණ්ඩායමක් සමග කල හැකියි (උදා: යෝග, ඇරොබික්, සුම්බා, බැඩ්මින්ටන්, මේස පන්දු (ටේබල් ටෙනිස්) ආදිය). ඒ වගේම ඔබට හොඳ මිතුරු මිතුරියන් කණ්ඩායමක් සිටිනවානම් වොලිබෝල්, බාස්කට්බෝල් (අත්පන්දු, දැල්පන්දු) ආදී ක්‍රීඩා වලත් නිරත වන්න පුළුවන්. මේ ඕනෑම එකක් තෝරා ගැනීමේදී සිතන්න එමගින් ඔබට මානසික සතුටක් සහ තෘප්තියකුත් ලැබෙනවාද කියා. නැතිනම් වැඩිකල් නොගොස් ඔබ එය ඇත හරින්නට පුළුවන්. ඉතා හොඳ ක්‍රමයක් වන්නේ සතියට දින දෙකක් පමණ තීව්‍රතාවය වැඩි ව්‍යායාම (ඇරොබික්, බැඩ්මින්ටන් ආදී) කර තවත් දින දෙකක් පමණ අඩු තීව්‍රතාවයක් ඇති (ඇවිදීම, පිහිණීම ආදී) ව්‍යායාම කිරීමයි.

උදර ප්‍රදේශය සහ කොන්ද ශක්තිමත් කරගන්න

ගර්භණී සමයේ ඔබේ ඉදරය දරුවාගේ වැඩීමත් සමග නෙරා එනු ඇත. එවිට ඔබේ කොන්දට වැඩි දරා සිටීමේ ශක්තියක් තිබිය යුතුයි. ඒ වගේම ඔබේ උදරය ආශ්‍රිත මස්පිඩු ශක්තිමත් නම් කොන්දේ ශක්තියත් සමග එක්වූ විට පසු කාලීනව කොන්දේ අමාරු ඇතිවීමේ අවදානම අඩු විය හැකියි. මෙම විශේෂිත ව්‍යායාම පිළිබඳව සුදුසුකම් ලත් සහ අත්දැකීම් ලත් අයෙකුගෙන් උපදෙස් ගන්න අමතක කරන්න එපා...

අනතුරු වලට ඉඩ තබන්න එපා - වෛද්‍ය උපදෙස් පතන්න

ඔබ ව්‍යායාම සහ ක්‍රීඩා පිලිබඳ වැඩි අත්දැකීමක් නොමැති නම් ඉතා ප්‍රවේසම් වන්න. එක වරම අධික තීව්රතාවයකින් යුතු ව්‍යායාම අනුගමනය කිරීමෙන් වලකින්න. සුදුසුකම් ලත් උපදේශකයකුගේ අධීක්ෂණය යටතේ සුළුවෙන් පටන් ගෙන කෙමෙන් කෙමෙන් තීව්ර තාවය වැඩි කරන්න. එසේ කරන අතර නිසි ලෙස සපත්තු පැළඳීම, ඇඟ හසුරවා ගැනීමට පහසු වන ඇඳුම් ඇඳීම, මනා සනීපාරක්ෂක පුරුදු (ව්‍යායාම අවසන්වී ශරීරය නිසි ලෙස සිසිල් වූ පසු හොඳින් පිරිසිදු වන ලෙස ස්නානය) ආදිය අමතක කරන්න එපා. ඒ වගේම ඔබට යම් කිසි මස් පිඩුවක් ඇදීමේදී හෝ කවර හෝ ව්‍යායාමයක් කරද්දී හදවත/පපුව/උදරය අවට අසාමාන්‍ය වේදනාවක් දැනෙයි නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. ඔබට මතුපිටින් පෙනෙන ලෙඩ රෝගයක් නැති උනත් අද කාලයේ Well Woman Clinic/ Adolescent Health Check/ Full Health Check Up ආදී නම් වලින් හඳුන්වන වෛද්‍ය පරීක්ෂාවක් වසරකට හෝ දෙකකට වරක් පවත්වාගෙන වෛද්‍ය වරයාගෙන් ශාරීරික ව්‍යායාම පිලිබඳ උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.

ඔබේ ස්වාමි පුරුෂයා/පෙම්වතා එයට හවුල් කර ගන්න

ඔබ පමණක් ශරීරය හොඳින් පවත්වා ගැනීම හොඳ පවුලක් ගොඩ නැගීමට ප්‍රමාණවත් නොවේ. ඔබේ ස්වාමි පුරුෂයා හෝ පෙම්වතා මෙම ව්‍යායාම හෝ මොනයම් ආකාරයක හෝ ව්‍යායාම පෙළකට එක කර ගැනීම ඉතාම වැදගත්. පුරුෂයාගේ ශරීර සෞඛය දරු පල අඩු වීමට හෝ වැඩි වීමට බලපාන බව අමතක කරන්න එපා... 

ඉතින් ඉහත කී පරිදි ඔබත් ක්‍රියාශීලී ජීවන රටාවක් අනුගමනය කරන්නේ නම් ගර්භණී සමයේ පමණක් නොවේ, එයින් පසුවත් මනා ශාරීරික සහ මානසික සුවතාවයෙන් යුතුව සිටින්නට හැකි වන අතර වයසට යන විටත් දිගටම මෙම ශාරීරික සුවතා ව්‍යායාම පවත්වාගෙන යාමෙන් අනවශ්‍ය ආලේපන භාවිතා කරමින් තරුණ පෙනුම ලබා ගැනීමට වෙහෙසෙන්න වෙන එකක් නැහැ...

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

>


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook