මඳ සරු බව දරු සුරතල් බැලීමට බාධාවක් නොවේ

Hits: 8781 times

මෙයට පෙර අපි සාකච්චා කල පරිදි විවිධ හේතු මත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවීම දැකිය හැකියි. විවාහප්‍රාප්ත යුවලක් ඉතා ආසාවෙන් බලා සිටින දරු පිළිසිඳ ගැනීම සිදුවීම ප්‍රමාද වන විට ඔවුන් යම් ආකාරයකට තැති ගැනීමකට ලක්වනවා. එපමණක් නොවේ අප සමාජයේ ඇති වැරදි ආකල්ප නිසා එවැනි යුවල අපහසුතාවයට පත් වීමත් ඉතා සුලභ දෙයක්. එනිසා අපි අද සලකා බලමු මඳ සරු භාවය සහ එයට ඇති පිළියම් ගැන.

සාමාන්‍ය ඔසප් චක්‍රය සහ ගැබ් ගැනීමේ කාල සීමාව අපගේ පසුගිය ලිපියක ඔබ දකින්න ඇති ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩිම කාලය ගැන. ඔසප් වූ පළමු දින සිට ගණනය කල විට 12 වන සහ 16 වන දිනයන් අතර අඹු සැමි සම්බන්ධතාවයේ යෙදුනොත් ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව වැඩි ලෙස සැලකෙනවා. එසේ නිවැරදිව ගණනය කල කාල සීමාවේ නිසි ලෙස ලිංගික සම්බන්ධතාව පැවැත්වා මාස කිහිපයක් යනතුරුත් බලාපොරොත්තු වූ ලෙස ගැබ් ගැනීම සිදු නොවේ නම් ඔබ මඳ සරු බව පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම සුදුසුයි.

මඳ සරු බව රෝගයක්ද?

මෙය කිසිසේත්ම රෝගයක් නොවේ. අපේ සමාජයේ යම්කිසි ප්‍රතිශතයකට දරු ඵල ලැබීමේ හැකියාව අඩුවන අවස්ථා බහුලව තිබේ. නවීන තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මෙම තත්වය මඟ හරවා ගැනීමට හෝ තාක්ෂණික ක්‍රම මගින් දරු පිලිසිඳ ගැනීම සිදුකිරීම හෝ කල හැකි නිසා ඔබටත් දරු සුරතල් බැලීමේ අවස්තාව උදා වනු ඇත. වයසට යාමට පෙර මෙම ප්‍රතිකාර ලබා ගැනීමෙන් දරු ඵල ලැබීම වඩාත් සාර්ථකව කර ගත හැක.

ස්වභාවික සංසේචනයක් යනු කුමක්ද?

පුරුෂයකු සහ කාන්තාවක් අතර ලිංගික සම්බන්ධතාවයෙදී මෝචනය වන ශුක්‍රානු කාන්තාවගේ යෝනි මාර්ගයේ තැන්පත්වේ. ස්වභාවිකව උකු ගතියක් ඇති ශුක්‍ර තරලය යෝනියෙදී දියර ගතියට පත්වේ. ඒ සඳහා විනාඩි 10 - 30ත් අතර කාලයක් ගතවේ. සඵල ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් ගැබ්ගෙල හරහා ගර්භාශයටත් එයින් පැලෝපීය නාළය තුලටත් ඇතුළු වී එහි ඇති ඩිම්බයන් කරා පිහිනා යයි. එම ශුක්‍රාණු ඩිම්බයක් වටා එක් වී එක් සාර්ථක ශුක්‍රාණුවක් ඩිම්බය සමග සංසේචනය වේ. ඉන්පසු සන්සේචනයෙදී ඩිම්බ සෛල බෙදීමෙන් කළලයක් සේ වර්ධනය වෙමින් පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂයට පැමිණ අධිරෝපණය වීමෙන් ගැබ් ගැනීම සිදුවේ. මෙය දරු උපතක් දක්වා කෙමෙන් කෙමෙන් වර්ධනය වනු ඇත. ස්වභාවිකව ඩිම්බයක් පරිනතව, මෝචනය වන සහ පැලෝපීය නාල වල අවහිරතා නොමැති කාන්තාවක් සහ ශුක්‍රාණු ශක්තිය හීන නොවුනු පුරුෂයකු අතර සරු කාලයේ සිදුවන එක්වීමකින් ස්වභාවික පිළිසිඳ ගැනීමක් සිදුවේ.

නිසි ලෙස පිළිසිඳ ගැනීමක් නොවන විට කුමක් කල යුතුද?

නමුත් මාස හයක් පමණ කාලයක් උත්සාහ කිරීමෙන් පසුවත් පිළිසිඳ ගැනීමක් සිදුනොවේ නම් ඩිම්බ උත්තේජනය කර ඔසප්වීමෙන් දින 12කට පසු සිදුකරන ස්කෑන් පරීක්ෂාවකින් ඩිම්බය නිසි ලෙස පරිනත වී ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුය. ඉන්පසු අවශ්‍ය නම් HCG නම් එන්නත ලබාදී ඩිම්බය මෝචනය වීමට සලස්වා ඉන් පසුවේ අඹු සැමි සම්බන්ධතාව පවතවීමෙන් ස්වභාවික ගැබ් ගැනීමක් සිදු කළ හැක. ඒ සඳහා ඔසප්වීමෙන් දින 12කදී කරන ස්කෑන් පරීක්ෂාව අනිවාර්ය වේ. එමෙන්ම ඔසප් වූ දිනයේ සිට නව වන දිනයෙන් පසු සැමියා ශුක්‍රාණු පිට නොකළ යුතු අතර දොළොස්වන දිනයේ පරීක්ෂාවෙන් ඩිම්බයක් ඇතිබව තහවුරු වූ පසු HCG එන්නත ලබාදී ඊට පසු දින තුනක්, දිනකට වරක් සැමියා සමග එකතු වීම අනිවාර්ය වේ. එමෙන්ම සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් අනිවාර්යෙන් සිදුකල යුතු බව මතක තබා ගත යුතුය. ශුක්‍රාණු ප්‍රමාණය අඩු තත්ත්වයේ පවතී නම් ස්වාභාවිකව ගැබ් ගැනීමක් සිදුවීමේ හැකියාව අවම විය හැක. එවිට ප්‍රතිකර්ම වලය යොමු විය යුතුය.

පිළිසිඳ ගැනීම කළලය පිළිසිඳ ගැනීම නව ජීවයක ආරම්භයවේ

ශුක්‍රාණුවක් ඩිම්බයක් හා සංසේචනයෙන් පැය 18කින් පසු යුක්තානුවක් බවටත්, ඉන් පසු පැය 24ත් 30ත් අතර කාලයේදී සෛල දෙකක කළලයක් බවටත් පත්වේ. පැය 40කින් සෛල 4ක කලලයක් බවටත්, පැය 60කින් සෛල 8ක කලලයක් බවටත් පත්වේ. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ පැලෝපීය නාලය තුළදීය.

ස්වභාවික පිළිසිඳ ගැනීමක් සිදු නොවන විට ශුක්‍රාණු තැන්පත් කිරීම මෙය සිදු කිරීම සඳහා දින 3ක් වෘෂණ කෝෂ තුල ශුක්‍රාණු එකතු වී තිබුන පසු ශුක්‍රානු ලබා ගනී. එබැවින් ඔසප්වී 10 වන දින ශුක්‍රාණු පිට කර ඉන්පසු නැවත පිට නොකළ යුතුය. 10 වන දින සම්බන්ධ වීමෙන් පසු IUI නම් ප්‍රතිකර්මය සිදුකරන තෙක් නැවත ලිංගිකව එක් නොවිය යුතුය.

IUI ප්‍රතිකර්මය සිදු කරන්නේ කෙසේද?

මෙය සැත්කමක් නොවන බව ඔබ මතක තබා ගත යුතුය. කිසිම නිර්වින්දනයක් (හෝ සිහි නැති කිරීමක්) නොකර මෙය සිදුකල හැක. එසේම මෙය වේදනා රහිත ප්‍රතිකර්මයකි. සහකරුගේ සජීවී ශුක්‍රාණු ශුක්‍ර තරලයෙන් වෙන් කර සකසා ගත පසු පැය භාගයක් ඇතුළතදී IUI කැතීටරයක් (නලයක්) මගින් ගැබ්ගෙල හරහා කාන්තාවකගේ ගර්භාෂය තුල තැන්පත් කල යුතු වේ.

IUI ප්‍රතිකර්මය කල පසු…

  • IUI ප්‍රතිකර්මයට පසු පය 1/2ක් කාන්තාව එකම ඉරියවුවක සිටීම අනිවාර්යය.
  • මෙම ප්‍රතිකාරය සිදුකර පැය 1/2ට පසු යෝනි මාර්ගයට ප්‍රොජෙස්ටරෝන් ක්‍රීම් හෝ ජෙල් ඇතුලත් කරනු ඇත. එය යෝනි මාර්ග බිත්ති තුලින් ගැබ් ගෙලින් අවශෝෂණය වන අතර ගර්භාෂයේ ඇතුළු බිත්තිය (endometrium) සැකසීමට උදවු වේ.
  • ප්‍රොජෙස්ටරෝන් පෙති IUI ප්‍රතිකර්මය සිදුකල දින සිට දින 14ක් නිර්දේශ කරයි.
  • මෙම ප්‍රතිකර්මයෙන් පසු ඔබට එදිනෙදා වැඩකටයුතු සුපුරුදු ලෙස කල හැක. ආහාර පාන වල හෝ ඔබ යන එන ගමන් බිමන් වල අඩුවක් හෝ වෙනසක් කල යුතු නැත. නමුත් අධික වෙහෙසකර කායික ව්‍යායාම වලින් වලකින්න.
  •  ප්‍රතිකර්මයෙන් පසු නියමිත දිනට ඔසප් නොවුනොත් "බීටා එච් සී ජී (beta HCG)" පරීක්ෂාවක් හෝ මුත්‍රා පරීක්ෂාවකින් ගැබ් ගැනීමක් සිදුවී ඇතිදැයි දැනගත හැක.
  • ප්‍රතිකර්මයෙන් පසු නැවත ඔසප් උනොත් ඔසප් දිනට පසු දින (දෙවැනි දින) ලබා ගන්න ඖෂධ ගෙන දොළොස්වන දින ස්කෑන් පරීක්ෂණයක් කල යුතු වේ.
  • මෙම ප්‍රතිකර්මය කාන්තාවකට 6 වරක් සිදු කල හැක. ඉන් පසු මාස 3 - 4ක පමණ විවේක ලබා නැවත යොමු විය හැකිය.

……………….

ලංකා හොස්පිටල්ස් ආයතනයේ වීශේෂඥ වෛද්‍ය මදාර රැළපණාව මහතා සමග කල සාකච්චාවක් ඇසුරිනි.

......................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

......................

මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This article was brought to you by Lanka Hospitals PLC. 

Lanka Hospitals PLC

Related Articles

දරුවන් නොලැබීමට හේතු                           

වයසත් සමග සරු බව අඩු වෙයිද? - Does Fertility Go Down with Age?

නිතර දැනෙන විඩාබර බව මවක් වීමට එරෙහි වෙයිද?

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook