ප්‍රවේසම් සහගත ලිංගික චර්යාවන් ඇති කරගැනීමේ වැදගත් කම

Hits: 30605 times

ලිංගික සේවනය යනු මනුෂ්‍යයන් ඇතුළු බොහෝ සත්ත්ව කොට්ටාශ වල පවතින ස්වභාවික හැසිරීමකි. මනුෂ්‍යයන් තම වර්ගයා පවත්වාගෙන යාමටත්, ස්වකීය සතුට වෙනුවෙනුත් මෙම ක්‍රියාවේ නිරත වේ. ප්‍රවේශම් සහගත ලෙස මෙහි යෙදීමෙන්  මනුෂ්‍යයන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට ධනාත්මක ප්‍රථිපල ලැබෙන බව සොයාගෙන ඇත. නමුත්, මෙහිදී ඔබ මතක තබා ගත යුතු වන්නේ, නොසැළකිලිමත් ලිංගික ආශ්‍රයන් නිසා යමෙකුට තම ජීවිත කාලයම පසුතැවිලි වීමට සිදුවන අවස්ථා ඇති බවයි!

අපි විමසා බලමු වැරදි ක්‍රියාවන්ගෙන් වැළකී මනුෂ්‍යයන් ලෙස සෞඛ්‍ය සම්පන්න අනාගත් පරම්පරාවක් බිහි කිරීමටත්, තමන්ගේ යුග දිවියේ සතුට මනා ලෙස පවත්වා ගැනීමටත් මෙය යොදා ගන්න අයුරු.

සමාජ රෝග

ලිංගිකත්වය ගැන සඳහන් කල පමණින්ම අප බොහෝ දෙනෙක්ගේ සිතට නැගෙන්නේ සමාජ රෝග නමැති මාතෘකාවයි… ලිංගික ක්‍රියාවලීන් නිසා බෝ වන ක්ෂුද්‍ර ජීවී ආසාදන බොහොමයක් අද පැතිරී ගිහින්. මෙවැනි රෝගයක් වැළඳුනොත් බොහෝ විට එය ජීවිතාන්තය දක්වා පවතිනවා පමණක් නොවේ, එනිසා ඔබට අනෙක විධ ගැටළුත් ඇති වෙනවා (ඔබේ ලිංගික අවයව අවට තුවාල, දුඟද හමන ශ්‍රාවයන්, වේදනාව, පිළිකා පමණක් නොවේ ඉතා අමිහිරි මරණයක් වුවත් සිදුවිය හැකියි). එපමණක් නොවේ, දරු ඵල අහිමි වීමටත් මෙය හේතු වෙන්න පුළුවන්. ඔබව සමාජය මඟින් පිළිකුලට බඳුන් කරන්නත් ඉඩ  තිබෙනවා. ඉතින් මේවාගෙන් වැලකීමට පහත දැක්වෙන ප්‍රවේසම් සහගත ලිංගික චර්යාවන් පමණක් අනුගමනය කරන්න.

ප්‍රවේසම් සහගත ලිංගික චර්යාවන්

ප්‍රවේසම් සහගත ලිංගික චර්යාවන් ලෙස හඳුන්වන්නේ සමාජ රෝග ඇතිවීමට ඇති අවදානම නැති කර ගැනීමට උපරිම උත්සාහ කරමින් ලිංගික චර්යාවෙහි යෙදීමයි.

ප්‍රවේසම් සහගත ලිංගික චර්යාවන් වල යෙදීමට උපදෙස් කිහිපයක්:

ඔබත් ඔබේ සහකරු/සහකාරියත් සමාජ රෝග වැළඳී නැති බවට සක රහිතව තහවුරු කර ගන්න

කිසියම් ආකාරයක ලිංගික චර්යාවක යෙදීමට පෙර තම සහකරු/සහකාරිය ගැන නිසි ලෙස සොයාබැලීම ඉතා වැදගත්. ඔහු හෝ අයගේ අතීත සම්බන්ධතා, අතීත රෝග ලක්ෂණ ආදිය ගැන ඔබ දන්නවාද? ඒ වගේම ඔබ දෙදෙනා අතර ඇති අවබෝධය ඒ ගැන විවෘතව කතා කිරීමට තරම් පුළුල්ද? ගැඹුරුද? එපමණක් නොවේ, ඔබ දෙදෙනාටම සැකයක් ඇති නම් තම සම්බන්ධතාවය ඊළඟ අදියරට ගෙන යාමට පෙර සමාජ රෝග සායනයකින් පරීක්ෂාවක් කර ගැනීමත් සුදුසුයි. අනෙක් වැදගත්ම කරුණ වන්නේ නිතර වෙනස් සහකාරුවන්/සහකාරියන් වෙනස් කිරීමෙන් වැලකීමයි. දිගු කාලීන සහ මනා අවබෝධයක් ඇති, සෞඛ්‍ය සම්පන්න  සහකරු/සහකාරී සම්බන්ධතා වල පමණක් යෙදෙන්න. එය ඔබේ කයටත් මනසටත් එක සේ සුවදායකයි! ඔබේ සහකරු/සහකාරිය ගේ වෙනත් සම්බන්ධතා තිබේද යන්න ගැනත් අවධානයෙන් සිටීම ඉතා වැදගත්!

පෙර සූදානම

සමාජ රෝග වලින් වැළකීමේ පහසුම ක්‍රමය දෙදෙනා අතර ලිංගික ක්‍රියාවන් අවම කිරීමයි. දෙදෙනාගෙන් කිසිවකුට සමාජ රෝග නොමැති බවට සැක හැර දැන ගන්නා තුරු  ලිංගික අවයව අතර ස්පර්ශ නොවන ලෙස ඔබ දෙදෙනාගේ ශ්රුගාරාත්මක කාලය ගත කිරීමට උත්සාහ කරන්න. නමුත් ඉන් පසුවත්, පහත දැක්වෙන ආරක්ෂක ක්‍රම භාවිතය සුදුසුයි.

ලිංගික චර්යාවන් වලදී භාවිතා කල හැකි ආරක්ෂක ක්‍රම

පිරිමි කොන්ඩොමය

මෙය යෝනිමය, ගුදමය හෝ මුඛ ලිංගිකත්වය යන අවස්ථාවල භාවිතා කල හැක. එමගින් ලිංගික අවයව අතර ස්පර්ශය වලක්වන අතර, උපත් පාලන ක්‍රමයක් ලෙසද භාවිතා වේ.

කොන්ඩොමය භාවිතයට පෙර එහි කල් ඉකුත්වීමේ දිනය පසු වී නැති බවට සහතික වීම ඉතා වැදගත්. කල් ඉකුත් වූ කොන්ඩොම මගින් ඔබට ආරක්ෂාව නොලැබී යා හැකියි. තවද එය සාක්කුවේ දමාගෙන බොහෝ කාලයක් තබාගෙන සිටියොත් හෝ වෙනත් අයුරකින් තැලීමකට / නැවීමකට ලක් වුවොත් එහි ඇති ආරක්ෂක හැකියාව නැති වී යා හැකියි.

ලිංගික අවයව හෝ ශරීරයෙන් එන ශ්‍රාවයන් අතර ස්පර්ශය ඇතිවීමට පෙර මෙය පැළඳිය යුතුයි. ඔබ ලිහිසි කාරකයක් භාවිතා කරන්නේ නම් එය ජලය මාධ්‍යය වශයෙන් නිෂ්පාදනය කල එකක් විය යුතුය. වෙනත් තෙල් වර්ග සහිත ලිහිසි කාරක සහ ඔබ විසින් සාදා ගන්න ලිහිසි කාරක භාවිතයෙන් කොන්ඩොමය ඉරී යාමටත් වෙනත් අතුරු ආබාධ ඇති වීමටත් පුළුවන්.

කොන්ඩොම එකක් මත එකක් පැලැන්දීමෙන් සම්පූර්ණයෙන් වලකින්න! එමගින් වන්නේ කොන්ඩොම කඩතොළු වී ඔබට ලැබෙන ආරක්ෂාව අහිමි වීම පමණි!

සුරාන්තය පැමිණි වහාම එහි ඇති ශ්‍රාවයන් තමන්ගේ හෝ තම සහකරු/සහකාරිය ගේ නොගෑවෙන සේ කොන්ඩොමය ගලවා ඉවත් කරන්න! තවදුරටත් ලිංගිකව එක් වන්නේ නම් අලුත් කොන්ඩොමයක් භාවිතා කරන්න.

ගැහැණු කොන්ඩොමය

මෙය පිරිමි කොන්ඩොමයකට වඩා මිලෙන් වැඩි නමුත් මෙයිනුත් සමාජ රෝග වැළඳීමේ අවදානම අවම කරවනවා.

Dental Dam

මෙය භාවිතා කරන්නේ මුඛ ලිංගිකත්වයේදී ආරක්ෂාව ලබා ගැනීමටයි.

මතක තබා ගන්න, අප ඉහත දැක්වුයේ එක් එක් ආරක්ෂක ක්‍රම ගැන දළ හඳුන්වාදීමක් පමණයි. ඒවා භාවිතයට පෙර නිවැරදි ලෙස භාවිතා කරන අයුරු ගැන පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගෙන් හෝ වෙනත් සුදුසුකම් ලත් අයෙකුගෙන් උපදෙස් පැතීම ඉතා වැදගත්.

සාරාංශය...

අවසාන වශයෙන් කිව හැක්කේ, ලිංගික චර්යාවන් නිසි අවබෝධයෙන් යුතුව යෙදීම කිසිසේත් අයහපත් නොවන බවත්, ප්‍රවේශමෙන් යුතුව විශ්වාසී සහකරුවෙක් සොයාගෙන ඔහු/ඇය සමඟ පමණක් මෙහි යෙදීම ඉතා වැදගත් බවයි.

ඔබට සුළු හෝ සැකයක් ඇතිවිට ළඟම ඇති රජයේ හෝ රජය විසින් අනුමත කරන ලද පුද්ගලික රෝහලට ගොස් එහි ඇති සමාජ රෝග අංශයෙන් උපදෙස් ලබා ගන්න. එහිදී ඔබේ පෞද්ගලිකත්වය සහ අනන්‍යතාවය රැකෙන ලෙස ප්‍රතිකාර කරන අයුරින් වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණුව ලබා ඇත. පුවත්පත්වල/ අන්තර්ජාලයේ දැන්වීම් පළ කරන සුදුසුකම් නොලද පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් වන්න!

Verified by: Dr. S. S. Perera

ඔබ දරු ප්‍රසූතිය හඟවන ලක්ෂණ සමඟ රෝහලට පැමිණි විට ඒ බව තහවුරු කර ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා/වරිය විසින් උපත් මාර්ගය පරීක්ෂා කල යුතුයි. (Per Vaginal Examination -PV) PV කරන්න බය වෙන්න එපා.මවගේ සහයෝගය ලැබේ නම් සාමාන්‍ය PV එකක් කවදාවත් වේදනාවක් ඇති කරන්නේ නෑ.

 ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook