කාන්තාවන්ගේ මඳ සරු භාවය

Hits: 32632 times

ඔබට වසරකට වඩා වැඩි කාලයක් නිතර අනාරක්ෂිත ව ලිංගික සංසර්ගයේ යෙදුන ද ගර්භණී වීමට නොහැකි වුනි නම් ඔබත් ඔබේ සැමියාත් ඔබේ වෛද්යවරයා හමු වී මඳ සරු භාවයට ප්රතිකාර ගැනීම සුදුසුයි. මෙම තත්වය ඉතාමත් සුලභයි. ප්රජණක වයස් සීමාවේ සිටින අඹු සැමි යුවල අතර 15% කට පමණ මෙම තත්වය තිබෙන බවට සොයා ගෙන තිබෙනවා.

 සමහර පවුල්, තම රැකියාව හා අධ්යාපනික දියුණුව මූලික කරගෙන ගර්භණී වීම වයස අවුරුදු තිස් ගනණක් වන තුරු ප්රමාද කරනවා. මේ අය බොහෝ විට ගැබ් ගැනීමට උත්සාහ කරන විට අපහසුතාවයන්ට මුහුණ දෙනවා. සැමියාගේ මෙන්ම බිරිඳගේත් යම් යම් සෞඛ්ය තත්වයන් නිසා මඳ සරු භාවය ඇති විය හැකියි. මේ සටහනෙන් අපි කාන්තාවන්ගේ මඳ සරු භාවයට හේතු කාරණා හා ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ හා අවදානම් සංඥා ගැන සාකච්ඡා කරමු. කාන්තාවන්ගේ මඳ සරු භාවයට බලපාන විවිධ තත්වයන් කාන්තා ප්රජනක පද්ධතියේ විවිධ කොටස් වලට බලපානවා. එසේ බල පාන ආකාරය අනුව, ගැබ් ගෙල, ගර්භාෂය, පැලෝපීය නාල හා ඩිම්බ කෝශ වලට බලපාන තත්වයන් ලෙස ඒවා වර්ග කල හැකියි.

 ගැබ් ගෙලට බලපාන තත්වයන්

ගැබ් ගෙල යනු ගර්භාෂයේ පහල ම කොටසයි. ඔබේ යෝනි මාර්ගය පරීක්ෂා කරන විට Speculum නම් උපකරණයක ආධාරයෙන් ඔබේ වෛද්යවරයාට ඔබේ ගැබ් ගෙල පරීක්ෂා කර බැලිය හැකියි. ආර්ථව චක්රයේ මුල් දින 14 තුල ගැබ් ගෙලෙන් මැලියම් වැනි (Mucus) ද්රව්යයක් ශ්රාවය වෙනවා. ඩිම්බය පිට වෙන කාලය වන විට එම mucus උකු බව අඩු වී, ඇදෙන සුළු වී පැහැදිලි වෙනවා. ඔබේ මහපටැඟිල්ල හා දබරැඟිල්ල අතරට එම mucus ටිකක් ගෙන බලන්න. ඔබට ඇඟිලි දෙක ඈත් කරන විට ඇඟිලි දෙක අතර නොකැඩී රැහැනක් සේ ඇදිය හැකියි. මෙය "Spinbarkeit" නමින් හඳුන්වනවා.මෙම තත්වය යටතේ mucus හරහා ශුක්රාණු වලට පහසුවෙන් යා හැකියි. සමහර කාන්තාවන්ගේ මෙම mucus ආර්ථව චක්රය පුරා ම දිගට ම ඝන ව පවතිනවා. එවිට ශුක්රාණු වලට mucus හරහා යා නොහැකියි. ඔබේ ආර්ථව චක්රයේ 14 වැනි දිනය ආසන්නයේ mucus පරීක්ෂා කර බැලීමෙන් ඔබට යම් අදහසක් ගත් හැකියි. සමහර කාන්තාවන්ගේ ගැබ් ගෙල මව් කුස තුල දී ම නිසියාකාර ව සෑදී නැහැ. ගැබ් ගෙල විවරය අවහිර වී තිබීම නිසා ශුක්රාණු වලට ගර්භාශය තුලට යා නොහැකියි. කෙසේ වෙතත් විශේෂ පරීක්ෂණ ක්රම නැතිව මෙම තත්වයන් හඳුනා ගත නොහැකියි.

 ගර්භාශයට බල පාන තත්වයන්

කලල අවධියේ සෑදෙන intermediate mesoderm නම් ජනක ස්ථරයෙන් හට ගන්නා paramesonephric duct නම් කොටස් දෙකෙහි එක්වීමෙන් ගර්භාශය සෑදෙනවා. සමහර අවස්ථා වල අසාමාන්ය ගර්භාශයක් ඇති විය හැකියි. ගර්භාශ අසාමාන්යතා අතර සරල ම තත්වය වන්නේ ගර්භාශයේ ඉහල බිත්තිය ගර්භාශයේ කුහරය තුලට නෙරා ඒමයි (arcuate uterus). දරුණු ම තත්වය වන්නේ ගර්භාශය හා යෝනි මාර්ගයේ ඉහල කොටස සම්පූර්ණයෙන් ම නැති වීමයි. ගර්භාශය හා යෝනි මාර්ගය නැති විට අනිවාර්යයෙන් ම ආර්ථවයක් සිදු වන්නේ නැහැ. බොහෝ ගර්භාශයික අසාමාන්යතා නිසා ගබ්සා වීමේ අවධානම වැඩි විය හැකියි. මෙම රෝග ලක්ෂණ ඇති විටක හැරුනු කොට විශේෂ පරීක්ෂණවලින් තොරව මෙම අසාමාන්යතා හඳුනා ගැනීම අපහසුයි. පෙර කලක දී කරන ලද සැත්කම් (සීසේරියන්, myomectomy වැනි) වල තුවාල සුව වන විට Endometrium (ගර්භාශයේ ඇතුලත් ස්ථරය - ආර්ථවයේ දී ගැලවී පිට වන්නේ මේ ස්ථරයයි.) එම තුවාල තුලට ඇතුලු විය හැකියි. මෙම තත්වය endometriosis ලෙස හඳුන්වනවා. සැත්කම් වල සම්බන්ධයක් නැති ව වුව ද endometriosis ඇති විය හැකියි. Endometriosis වල දී අධික ආර්ථව රුධිර වහනය, ආර්ථවයේ දී වේදනාව ඇති වෙනවා. මෙහි දී ඇති වෙන වේදනාව රුධිර වහනයට පෙර ම පටන් ගෙන රුධිර වහනය නැවතුනු පසුවත් ටික දවසක් පවතිනවා. මෙම රෝග ලක්ෂණ ඇත් නම් ඔබේ වෛද්යවරයා හමු වන්න. ගර්භාශයේ කුහරය තුලට නෙරා එන තරම් ලොකු fibroid නිසා ගර්භණී සමයේ වැදෑමහ ගර්භාශ බිත්තියට සවි වීමට බාධා විය හැකියි. Fibroid නිසා අධික ආර්ථව රුධිර වහනයක් සිදු විය හැකියි. ඒ හැරුනු කොට බොහෝ විට fibroid නිසා කිසිම රෝග ලක්ෂණයක් ඇති වනේ නැහැ.

 ඩිම්බ කෝශ හා සම්බන්ධ තත්වයන්

මොලයේ පිටියුටරියෙන් ශ්රාවය කරන FSH, LH හෝමෝන නිසා ඩිම්බ කෝශයේ Follicles කිහිපයක් එක විට වර්ධනය වුවත් අවසානයේ Graffian Follicle ලෙස වර්ධනය අවසන් කරන්නේ එකක් පමණයි. ආර්ථව චක්රයේ 14 වන දවසේ ඩිම්බය පිට වෙනවා. ඩිම්බ පිට නොවීම මඳ සරු භාවයට හේතු වන සුලභ සාධකයක්. ඩිම්බය පිට වන විට සමහර කාන්තාවන්ට සුළු වේදනාවක් ඇති වෙනවා. මෙයින් ඩිම්බය පිට වීම දැනගත හැකියි. මෙම වේදනාව නොදැනුනොත් කලබල විය යුතු නැහැ. ඒ සමහර අයට පමණක් එම වේදනාව දැනෙන නිසා. ඔබේ ආර්ථව චක්රය ක්රමවත් ව සිදු වන්නේ දැයි විමසිල්ලෙන් සිටින්න. එය අක්රමවත් නම්, සරු කාලය ගනණය කිරීම අපහසු නිසා ගර්භණී වීම අපහසු විය හැකියි. ඔබේ වෛද්යවරයා හමු වී ඔබේ ආර්ථව චක්රය ක්රමවත් වීමට බෙහෙත් නියම කර ගන්න. Amenorrhea යනු ආර්ථවය සිදු නොවීමයි. Primary amenorrhea යනු වයස 16ක් වන තුරු හෝ ලිංගාශ්රිත ප්රදේශ වල රෝම වැවීම හා පියයුරු විශාල වීමේ සිට වසර 3 ක් යන තුරුත් ආර්ථවය සිදු නොවීමයි. හයිපොතැලමසය හෝ පිටියුටරියේ ක්රියාකාරීත්වය අඩු වීම හෝ ඩිම්බ කෝශ නිසියාකාර ව වර්ධනය නොවීම නිසා මේ තත්වය ඇති විය හැකියි. Primary amenorrhea තත්වයක දී ඔබ කුඩා කල ම ඔබේ දෙමව්පියන් ඔබට ඒ සඳහා වෛද්ය ප්රථිකාර ලබා දෙන්නට ඇති. Secondary amenorrhea යනු මීට ඉහත දී ආර්ථවය සිදු වූ කාන්තාවක ගේ නැවත මාස හයක කාලයකට වඩා ආර්ථවය සිදු නොවීමයි. ඩිම්බ කෝශවල ක්රියාකාරීත්වය අඩු වීම, polycystic ovarian syndrome, හා හෝමෝනමය උපත් පාලන ක්රම නිසා මෙය සිදු විය හැකියි. Polycystic ovarian syndrome දී බර වැඩි වීම, අක්රමවත් ආර්ථවය, කුරුලෑ හා පිරිමියෙකුගේ හා සමාන රෝම වැවීම ඇති විය හැකියි. ඔබට මේ රෝග ලක්ෂණ ඇත්නම් ඔබේ වෛද්යවරයා හමු වන්න.

 පැලෝපීය නාලය හා සම්බන්ධ තත්වයන්

ඩිම්බ කෝශයෙන් පිට වූ පසු ඩිම්බය පැලෝපීය නාලය මගින් රැගෙන ගර්භාශය වෙතට ගෙන යනවා. පැලෝපීය නාලයේ Ampulla නම් කොටසේ දී ඩිම්බය සංසේචනය වෙනවා. උදර කුහරයේ යට ම කොටසේ ඇති වන ආසාදන නිසා එහි පටක එකට ඇලිය හැකියි. එවිට පැලෝපීය නාලය අවහිර විය හැකියි. මෙම අවහිරය නිසා සංසේචනය වූ ඩිම්බය පැලෝපීය නාලයේ රැඳුනහොත් ectopic pregnancy තත්වයක් ඇති විය හැකියි. ඉහත කී ආසාදන නිසා උණ, උදරයේ වේදනාව හා යෝනි මාර්ගයෙන් ශ්රාවයන් නිකුත් වීම සිදු විය හැකියි. මෙම ආසාදන නිසා පිට වන රසායනික ද්රව්ය වලින් ඩිම්බ කෝශ වලට හානි වීම, ඩිම්බ පිටවීම අවහිර වීම හා පිට වූ ඩිම්බ විනාශ වීම සිදු විය හැකියි. පෙර දී කල සැත්කම් වල තුවාල සුව වීමේදී පටක එකට ඇලීමක් සිදු විය හැකියි. පෙර දී ectopic pregnancy නිසා පැලෝපීය නාල ඉවත් කර ඇත්නම් ගර්භණී වීම කෘත්රිම ක්රමයකින් මිස කල නොහැකියි. ඔබට මෙම රෝග ලක්ෂණ ඇත්නම් ඔබෙ වෛද්යවරයා හමු වන්න.

By: Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL)

....

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook