PCOS - Polycystic Ovarian Syndrome

Hits: 26987 times

මේ රෝග තත්වය ශ්‍රී ලාංකික කාන්තාවන් අතර ඉතා සුලභයි. මේ රෝගයේ දී සිදු වන්නේ ඔබේ ශරීරයේ හෝමෝන සමබරතාවය බිඳී යාමයි. මෙනිසා ඔබට ගැබ් ගැනීම අපහසු විය හැකියි. ඒ සමඟ ඔබගේ ශරීර රූපයේ ද වෙනස්කම් ඇති වෙනවා. හැකි ඉක්මනින් ප්‍රතිකාර නොකලොත් දියවැඩියාව, හෘදයාබාධ වැනි භයානක පසු ප්‍රතිඵල ඇති වීමටත් පුලුවන්.

 

මේ රෝග තත්වයට හේතුව තවමත් සොයාගෙන නැහැ. ජානමය බලපෑමක් තිබෙන බව පර්යේෂණ වලින් සොයා ගෙන තිබෙනවා. 

Polycystic ovarian syndrome (PCOS) රෝගයේ රෝග ලක්ෂණ වර්ධනය වන්නේ ටිකෙන් ටිකයි. මෙනිසා මාසික ඔසප් චක්‍රය, ඔසප් නොවීමේ සිට අධිකව ඔසප් වීම දක්වා අක්‍රමවත් විය හැකියි. හිස දෙපස ප්‍රදේශයේ කෙස් හැලීම, සිරුරේ අධිකව රෝම වැවීම, කුරුලෑ ඇති වීම, මඳ සරු බව, පිට පිට ගබ්සා වීම, අධි බර හා දියවැඩියාව PCOS වල ලක්ෂණයි.  

PCOS රෝගයේ දී ඔබේ ශරීරයේ සීනි ප්‍රමාණය පාලනය කරන insulin නම් හෝමෝනයට ප්‍රතිරෝධයක් ඇති වෙනවා. මේ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වී දියවැඩියාව ඇති වෙනවා. ඒ සමඟ ම රුධිර වාහිනී සිහින් වී හෘදයාබාධ, ආඝාතය හා පාද වලට රුධිර සැපයුම අඩු වීම ඇති වෙනවා. 

PCOS රෝගය ඇති වීමට ප්‍රධානම අවදානම් සාධකය වන්නේ පවුලේ සාමාජිකයින්ට එම රෝගය තිබීමයි. දියවැඩියාව හා අපස්මාර රෝගයට ගන්නා Valproate නම් බෙහෙත දිගු කාලයක් භාවිතා කිරීම නිසා PCOS අවදානම වැඩි වෙනවා. 

ඔබට අපිලිවෙලට ඔසප් වෙනවා නම්, වසරකට වඩා කාලයක් තිස්සේ ගැබ් ගැනීමට නොහැකි වීනම්, නිතර බඩගිනි වීම, නිතර මුත්‍රා කිරීම, නිතර පිපාසය ඇති වීම හා දැඩි මහන්සිය වැනි රෝග ලක්ෂණ ඇත් නම් වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍යයි. නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු හමුවීම මෙහි දී වඩාත් සුදුසුයි.

PCOS රෝගය හඳුනා ගැනීමට තනි පරීක්ෂණයක් නැහැ. ඒ සඳහා වෛද්‍යවරයා ඔබෙන් පෙර කී කරුණු ගැන විමසනවා ඇති. ඔබේ උස, බර, රෝම වැවෙන ආකාරය, තයිරොයිඩ් ග්‍රන්ථිය, උදරය පරීක්ෂාව්ට ලක් කල යුතු වෙනවා. ඔබගේ ඩිම්බ කෝශවල යම් ආබාධයක් තිබේදැයි බැලීමට ඔබේ යෝනි මාර්ගය පරීක්ෂාවට ලක් කිරීමට ද සිදු විය හැකියි. ටෙස්ටොස්ටෙරෝන්, ඊස්ට්‍රජන්, ප්‍රොලැක්ටින්, තයිරොයිඩ්, කොලෙස්ටෙරෝල්, ග්ලූකෝස් වැනි රුධිර පරීක්ෂණ ද Ultrasound ස්කෑන් පරීක්ෂණයක් ද මගින් ඔබේ වෛද්‍යවරයා රෝගය හඳුනා ගනු ඇත. එන්ඩොමෙට්‍රියමේ පිලිකා අවදානම වැඩි වෙන නිසා ඔබට D & C පරීක්ෂණයටද භාජනය වීමට සිදු විය හැකියි.

ශරීරයේ බර පාලනය කරගෙන ප්‍රශස්ත, උසට සරිලන බරක් පවත්වා ගැනීම මේ PCOS රෝගයට ඇති හොඳ ම ප්‍රතිකර්මයයි. ඔබේ ශාරීරික ක්‍රියාකාරී බවට ප්‍රමාණවත් පමණට ශක්තිය ලැබෙන පරිදි ඔබේ ආහාර වේල සකසා ගත් යුතුයි. ඒ සඳහා පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබා ගත හැකියි. ඒ සමඟම දිනපතා ව්‍යායාම කිරීමෙන් සිරුරේ නිවැරදි බර පවතවා ගෙන යා හැකියි. දුම් බීම හා මත් පැන් පානයෙන් වැලකීම PCOS පාලනය සඳහා ඉතා වැදගත් වෙනවා. Metformin හෝ Clomiphene වැනි බෙහෙත් වලින් ඔබට බර පාලනය හා ඩිම්බ් පිට වීම නිරවුල් කල හැකියි. උපත් පාලන පෙති වලින් ඔබේ ගර්භාශයේ එන්ඩොමෙට්‍රියම අඩු කරන නිසා පිලිකා අවදානම අඩු වෙනවා. උපත් පාලන පෙති සමඟ spironolactone වැනි බෙහෙත් භාවිත කල හැකියි. මෙම බෙහෙත් වර්ග ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පමණක් භාවිතා කරන්න.

.......

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL).

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook