ඔබ ඔබේ අසාත්මිකතාවයන් ගැන දන්නවා ද?

Hits: 12027 times

අසාත්මිකතාව (Allergy) යනු සාමාන්‍යයෙන් කිසිවෙකුට හානි දායක නොවෙන පරිසරයේ ඇති යම් යම් සංයෝග හා ද්‍රව්‍ය ශරීරගත වූ විට ඒවාට එරෙහි ව ශරීරය ප්‍රතික්‍රියා කිරීමයි. උදාහරණයක් ලෙස මල් වල පරාග දැක්විය හැකියි. මල් පිපෙන කාලයට මල් වල පරාග සුලඟත් සමඟ වාතයට මුසු වෙනවා. මේ පරාග අඩංගු වාතය ආශ්වාස කලොත් සාමාන්‍යයෙන් අපේ ශ්වසන පද්ධතියෙන් ඒ පරාග පෙරී ඉවත් කෙරෙනවා. කිසිදු ප්‍රතික්‍රියාවක් පෙන්වන්නේ නැහැ. ඒත් සමහර අයගේ ශ්වසන පද්ධතියට මේ පරාග ඇතුලු වුනා ම ඒවා හානි දායක අංශු ලෙස හඳුනාගෙන ඊට එරෙහිව ප්‍රතික්‍රියා කරනවා. එවිට කිවිසුම් යාම, නාසය හිරවීම, හුස්ම ගැනීම අපහසු වීම, ඇඟ කැසීම, ඇඟේ රතු දදයක් මතු වීම වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. සමහර අය අසාත්මිකතාව නිසා මරණාසන්න ලෙස රෝගී විය හැකියි. ඒ නිසා ඔබ ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් අසාත්මිකතාවන් ගැන දැන ගෙන සිටිය යුතුයි.

 

අසාත්මිකතාවයේ දී ශරීරයේ සිදුවන ක්‍රියා දාමය කෙටියෙන් සලකා බලමු. විවිධ සංයොග අපේ ශරීරයට අයත් ද, පිටතින් ඇතුලු වූ ඒවා ද යන්න හඳුනාගත හැකි Immunoglobulin නම් ප්‍රෝටීන වර්ගයක් අපේ ශරීරයේ තිබෙනවා. විශේෂයෙන් අසාත්මිකතාවයන්ට අවදානම් සහිත අයගේ ශරීරයේ Immunoglobulin E වැඩිපුර තිබෙනවා. මේවා පිටතින් එන පරාග, දූවිලි හෝ විවිධ රසායනයන් සමඟ බැඳී අපේ ශරීරයේ ඇති Mast cells උත්තේජනය කර Histamin නම් රසායනය නිදහස් කරනවා. මේ Histamin නිසා mast cells අවට ප්‍රදේශයේ රුධිර වාහිනී විස්තාරණය වෙනවා. රුධිර වාහිනීවල බිත්ති හරහා පටක තුලට ජලය කාන්දු වෙනවා. ඒ ප්‍රදේශය ඉදිමෙනවා. දදයක් හට ගන්නවා. මේ නිසා එම ප්‍රදේශයේ උණුසුම අන් තැන්වලට වඩා වැඩිවෙනවා. ඉදිමීමත් විවිධ රසායනික සංයෝග මඟින් ස්නායු උත්තේජනය වීමත් නිසා වේදනාවක්, කැසීමක් ඇති වෙනවා. අසාත්මිකතාවයක දී සම රතුවී කැසීම සිදු වන්නේ එසේ යි.

Anaphylaxis වැනි ප්‍රතික්‍රියාවක් ඇති විටක අසාත්මික ද්‍රව්‍යය කුමක්දැයි හඳුනා ගැනීමට Skin test කල හැකියි. ඔබට අසාත්මික දැයි සැක සිතන ද්‍රව්‍ය වලින් සාම්පල කිහිපයක් සම මත තැන්පත් කර එයට දක්වන ප්‍රතිචාරයන් පිරික්සීමෙන් අසාත්මිකතාව ගැන අදහසක් ලබා ගත හැකියි. 

අසාත්මිකතාවය නිසා සුළු රතු වීමක සිට Anaphylaxis නම් මරණීය තත්වය දක්වා ඇති විය හැකියි.  ඉහත පැහැදිලි කල ක්‍රියාදාමය විශාල පරිමාණයෙන් සිරුර පුරාම සිදු වීමෙන් Anaphylaxis තත්වය ඇති වෙනවා. Anaphylaxis වල දී මුලු ශරීරයේ ම රුධිර නාල වලින් පටක තුලට ජලය කාන්දු වීමෙන් රුධිර පරිමාව අඩු වීම නිසාත් රුධිර නාල විස්තාරණය වීම නිසාත් රුධිර පීඩනය අඩු වෙනවා. මොලය, හෘදය හා වකුගඩු වලට රුධිර සැපයීම අඩු වෙනවා. ඉතා ඉක්මනින් රෝහල් ගත කර ප්‍රතිකාර නොකලොත් ජීවිතයට තර්ජනයක් විය හැකියි.  

අසාත්මිකතාවයක් ඇත්නම් එය හොඳින් හඳුනා ගෙන එම අසාත්මිකතාවය දක්වන ද්‍රව්‍යය ශරීරගත වීමට ඉඩ නොදීම මේ අසාත්මිකතාවයට හොඳ ම ප්‍රතිකාරයයි. සමහර විට එයින් වැලකීම ඉතා අපහසුයි. පරාග, දූවිලි වැනි පරිසරයේ නිතරම අධික ප්‍රමාණයන්ගෙන් පවතින දේවල් වලට Anaphylaxis වැනි දරුණු අසාත්මිකතාවක් ඇත් නම් නිතර බෙහෙත් වර්ග ලඟ තබා ගත යුතුයි. ලඟ තබා ගැනීමට සාදන ලද කුඩා කාඩ් පතක අසාත්මිකතාවන් ගැන සටහන් කිරීම සමහර රට වල සිදු වෙනවා. ඔබට හෝ ඔබේ ආදරණීයයන්ට මෙවන් තත්වයක් ඇත්නම් ඒ ගැන දැන සිටීම ජීවිතයක් රැකීමට හේතු විය හැකියි. 

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook