දරු උපත සමග එන ආදායම් වියදම් සැළසුම් කිරීමේ අවශ්‍යතාව

Hits: 12656 times

ජිවිතය නම් පොතෙහි ඇති පරිදි දෙහදක ඇති වන ආදරයේ දෙවන පරිච්ජේදය විවාහයයි. විවාහය යනු සුන්දර අත්දැකීම් මෙන්ම අභියෝගාත්මක අත්දැකීම් වලිනුත් පිරුණු එකකි.නිවැරදි අවබෝධයෙන් යුතුව ක්‍රමාණුකූලව  ඉවසීමෙන් යුතුව ඉදිරියට ගෙන යා යුත්තකි.

  *පවුලේ වර්ධනය සහ මුල්‍යමය අවශ්‍යතා

බොහෝ විට අද සමාජය තුල ඇත්තේ න්‍යෂ්ඨික පවුල්ය. විවාහ වූ මුල් අවදියේ ඔබ දෙදෙනාට පමණක් පවුල සීමාවෙයි. ජීවිතය සරලය, සොඳුරුය, වගකීම් සමුදායක් ඔබට නැත. පෙම්වතුන්ව සිටින අවදියට වඩා අඹු සැමි බැඳීම වෙනස්වේ. අඹු සැමියන් දෙමාපියන් වූ කල ජිවිතයේ ගලා යෑම තවත් වෙනස්වේ. වගකීම් වැඩිවන්නට වැඩිවන්නට අප නිරායාසයෙන්ම ඒ ඒ අදියර සඳහා යොමු වේ. පවුල කෙමෙන් කෙමෙන් වැඩෙන විට වියදම්ද ටිකෙන් ටිකේ වැඩිවේ. ඉතින් ඔබගේ මුල්‍ය තත්ත්වය වඩාත් වැදගත් සාධකයකි. මුල්‍යමය අතින් අසාර්ථක වන විට පවුලේ සතුට, සැනසුම පලා යනු ඇත. මුල්‍ය තත්ත්වය ගැන සිතන විට ආදායම, වියදම වගේම අනාගතය වෙනුවෙන් කරන ආයෝජන ගැනත් සිතිය යුතුවේ.

 *ඔබට ඉපයීම සහ වියදම ගැන සැලැස්මක් තිබෙනවාද?

උපයන ධනය වියදම් කළ යුත්තේ ක්‍රමාණුකූලවය. විවාහය සමගම ඔබ දෙදෙනාම තම ඉපයුමට අදාලව වියදම් කළ යුතුය. මාසයේ මුල් සති දෙක තුල බත් එළවළු තුන හතරක් සමඟ අනුභව කර අවසාන සති දෙකේ බතුයි සම්බෝලයි අනුභව කරන න්‍යායක් ඔබටත්  ඇත්නම් එය වෙනස් කරගන්නට මේ හොඳම අවස්ථාවය. අනාගතය යනු වගකීම් සමුදායකින් පිරි ගමනකි. මුල්‍ය අඩිතාලම ශක්තිමත් වේ නම් ඒ ගමන එතරම්ම දුෂ්කර නොවනු ඇත.

 *දරු සුරතල් බැලීමත් සමග සිදුවන වෙනස්කම්

කාලය ගෙවී යාමත් සමග ඔබ දෙදෙනාම සිහින පුරන්නේ සොඳුරු කැදැල්ලට සුරතල් දරුසිඟිත්තෙකු වඩිනතුරාය. පවුලට අලුත් සාමාජිකයකු එක්වීමෙන් ඔබේ දෛනික වියහියදම් වැඩිවනු ඇත. නිසියාකාරව ඔබට ලැබෙන මුදල කළමණාකරනය කරනොගතහොත් ගැටළු රාශියකට ඔබට මුහුණපෑමට සිදුවනු ඇත. ජිවිතයේ අපට අරමුණු ඇත. ඒ අරමුණු කරා ගමන් කිරීමේදී අභියෝග රාශියකට මුහුණ දීමේ ශක්තිය ඔබට තිබිය යුතුය. ලොව ඔබට දැරිය හැකි ඉහළතම පදවිය වන මව් පදවියත් , පිය පදවියත් දරන්නට ඔබට සුදුසුකම් ලබනවාත් සමඟම හිමි වන වගකීම් ඔබ විසින් මනා ලෙස පූරණය කළ යුතුය. ඒ සඳහා ඔබදෙදෙනා කතිකාවතක් කළයුතුමය. නොඑසේ නම් ඔබ නොසිතන වියහියදම් නිසාවෙන් පීඩනයට පත් විය යුත්තේ ඔබ දෙපළමය. එබැවින් නිවැරදිව ජීවිතය පෙළගස්වාගත යුතුය.

* වියදම වැඩිවන්නේ දරු උපතටත් පෙර සිටයි...

දරුවකු ලැබෙන්නට පෙර සිටම ඔබට දරුවා වෙනුවෙන් වියදම් දැරීමට සිදුවේ. එනිසා දරුවකු බලාපොරොත්තු වන ඔබ මේ ගැනත් සිතන්න

1. දරු ප්‍රසූතිය සිදු කරන්නේ පෞද්ගලික රෝහලකද රජයේ රෝහලකද යන්න ඔබ පිළිසිඳ ගැනීමට පෙරම තීරණය කළ යුතුය. එය ඔබේ ආදායම අනුව ගත යුතු තීරණයකි.රජයේ රෝහලක් තෝරා ගන්නා විට ඔබට රෝහල් ගාස්තුවක් වැය නොවේ. එහෙත් යම් යම්  ඖෂධ වර්ග සඳහා වියදමක් දැරීමට සිදු වුවහොත් ඒ සඳහා ඔබට මුල්‍යමය සූදානමක් තිබිය යුතුය. පෞද්ගලික රෝහලක දරුප්‍රසූතිය සැලසුම් කරනවා නම් ඔබට රෝහල සඳහා වැය කිරීමට සිදුවේ. එනිසා

■ ගර්භනී අවදියේ හදිසි අවස්ථාවක රෝහල්ගත වන විට කොපමණ මුදලක් වැය වන්නේද?

■ සාමාන්‍ය දරු ප්‍රසූතියකට කොපමණ මුදලක් වැය වන්නේද?

■ සිසේරියන් සැත්කමක් සිදු කරනවා නම් කොපමණ මුදලක් වැය වන්නේද?

■ දරු උපතින් පසු  හදිසි අවස්ථාවක රෝහල්ගත වන විට කොපමණ මුදලක් වැය වන්නේද?

යන අවස්ථා සඳහා වැය වන වියදම ඔබට දරාගත හැකිද යන්නත් ඒ සඳහා සූදානමකුත් තිබිය යුතුය. බොහෝ විට රැකියා ස්ථානයේ රක්ෂාණාවරණයක් ඇත්නම් ඔබට ඒ තුලින් දරු ප්‍රසූතිය සඳහා වැය වන මුදල පූරණය කිරීමක් සිදු කරයි. ඇතැම් විට ගෙවනු ලබන්නේ වැය වූ මුදලින් කොටසක් පමණක් විය හැකිය. එනිසා එවැනි තත්ත්වයන් තිබේදැයිසොයා  බලන්න.

2. ගර්භණී අවදියේ වෛද්‍ය ගාස්තු ගර්භණී වූ පසු බොහෝ විට අප පෞද්ගලික වෛද්‍ය සායන වෙත අනිවාර්‍යයෙන්ම සහභාගී වේ. මෙහිදී වෛද්‍ය ගාස්තු පිළිබඳ ඔබ දැනුවත්ව සිටීම ඉතා වැදගත්ය. මසකට කීවරක්වෛද්‍යවරයා මුණ ගැසේද ඒ සඳහා කොපමන මුදලක් වැයවේද යන්නත් ස්කෑන් පරික්ෂණ ලේ පරික්ෂණ මුත්‍රා පරික්ෂණ ආදිය සඳහා මුදල් වැය වන බවත් සිහි තබාගතයුතුය.

3. ගර්භණී අවදියේ පෝෂණය මවක් වන්නට සුදානම් වන ඔබගේ පෝෂණය ඉතා වැදගත්ය. කුස තුල වැඩෙන දරුවාගේ වර්ධනයටත් මවගේ ශරීරය නීරෝගීව පවත්වාගෙන යාමටත් මෙම අවදියේ විටම්න් වර්ග පෝෂජනක ආහාර ආදියට ඔබට වෙනදාට වඩා අමතර පිරිවැයක් දැරීමට සිදුවේ.

4. ගර්භණී සමයේ විලාසිතා ගර්භණී සමයේද විලාසිතා අවශ්‍යවේ. එහෙත් ඔබ සිහි තබා ගත යුතු කරුණවන්නේ මෙය මාස නමයක් වැනි කෙටි කාලයකට සීමා වන බවය. අනවශ්‍ය ලෙස ඇඳුම් වලට වියදම් නොකරන්නත් සිතට ගන්න. මන්ද ගර්භණී සමයේ අඳින ඇඳුම් නැවත ඔබට ඇඳීමට නොහැකි බැවින් ඒවා ඉවත් දැමීම ඔබේ මුදල් නාස්තිකරගැනීමක්ය.

5. අලුත් අමුත්තා බඩු මිලදී ගැනීම. ඔබේ කැදැල්ලට එක්වන පුංචි අමුත්තාට අවශ්‍ය දෑ බොහෝය. ඇඳුම් පැළදුම්, සනීපාරක්ෂක දෑ ,ගෘහ භාණ්ඩ , සෙල්ලම් බඩු ඔබ මිලට ගත යුතුය. ඔබ මිලදී ගත යුත්තේ අවශ්‍ය දේ නොව අත්‍යවශ්‍ය දේය. උදාහරණයක් ලෙස කොට් එක අද නැතිවම බැරි දෙයක්නෙ. නමුත් ඔබගෙ නිවසෙ ඒ සඳහා ඉඩ කඩ නොමැති නම් එයින් ඔබට බාධාවක්. ඒ වගේම මසක් දෙකක් පාවිච්චියෙන් පසු එය ඔබට අවශ්‍ය නොවනවා නම් එය අනවශ්‍ය වියදමකි. දරුවාට අවශ්‍ය බඩු ගැනීමේදී අවශ්‍ය බඩු ලැයිස්තුවක් සකස් කරගන්න. ළදරු භාණ්ඩ මිලදී ගන්නා ස්ථාන පිළිබඳව ඔබේ නෑදෑ හිතමිතුරන්ගෙන් ඔබට තොරතුරු ලබාගත හැකිය. ඒ අනුව දින කිහිපයක් තැන් තැන් වලින් බඩු මිලදී ගන්නවා වෙනුවට එක්දිනකදී අවශ්‍ය දෑ එකම ස්ථානයකින් මිලදී ගැනීමට ඔබට හැකිය. දැන් දැන් අන්තර්ජාල පහසුකම බොහෝ දෙනාට ඇති නිසා වෙළෙඳපොල මිල ගණන් පිළිබඳ ඒ හරහා අවබෝධයක් ලබා ගත හැකිය. එසේම අන්තර්ජාලය තුලින් ඇණවුම් කොට භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගැනීම තුලින් ඔබට කාලයත් ප්‍රවාහන වියදමත් පිරිමසාගත හැකිය.

 ඉතුරුම් ගිනුමක උපයෝගිතාවය මේ ආකාරයට ඔබේ දරු උපත සිදුවන දවස ලඟා වන විට ඔබ මනා ලෙස සැලසුම් කර තිබිය යුතුය. ඒ සඳහා දරු පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වාත් එහි සිට තවත් මාස 6ක් වත් ඉදිරියටත් ඔබට වැයවන සියළු වියදම් මුලින්ම ඔබ සොයා ගන්න. ඉන්පසු එම මුදල ඔබ වෙත ලබා ගන්නා අයුරු සැළසුම් කරන්න. මුලින්ම ඔබ කල යුත්තේ අතෙහි ඇති මුදල කෙසේ හෝ උපරිමයෙන් භාවිතා කර ණය නොවී සිටින්නය. ඉතින් ඔබට පුළුවනි ඔබේ සම්පූර්ණ වියදම පියවා ගැනීමට අවශ්‍ය මුදල හඳුනාගෙන්, එම මුදල මාස ගණනින් බෙදා, එක් එක් මාසයේ එම මුදල වෙනම ඉතුරුම් ගිණුමක තැන්පත් කිරීමට. එසේ කලොත් ඔබට නොදැනීම දරු උපත සිදුවන විට අවශ්‍ය රෝහල් ගාස්තු සහ වෙනත් කළමණා මිලදී ගැනීමට ඔබට අපහසු නැතිව කල හැක.

 දරුවාගේ අනාගතය සහ මුල්‍ය සැලසුම දරුවකු දිනෙන් දින වැඩෙන විට ඇතිවන විවිධ වියදම් නම් බොහොමයි. නමුත් අපෙත් ඔබෙත් බලාපොරොත්තුව අනාගත දරු පරපුරට නිසි අධ්‍යාපනයක් සමග හොඳ ගතිගුණ ලබා දීමයි. ඉතින් ඔබට පුළුවන් දරුවාටත් ආදර්ශයක් වෙන්න. මුල සිටම ඔබේ දරුවා වෙනුවෙන් ළමා ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යන්න. ඒ සමගම දරුවාට යමක් කමක් තේරුම් ඇති විට බැංකුවට යන ගමනට දරුවාත් සහභාගී කර ගන්න. මේ මගින් දරුවාට මුල්‍ය පාලනය සහ ඉතුරුම් ගැන හොඳ අවබෝධයක් ලැබේවි.

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

 


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook