කාන්තා ඔබගේ මුල්‍ය කළමනාකරණය - සැළසුම සහ විනය

Hits: 2749 times

අද වන විට බොහෝ පවුල්වල ස්වාමිපුරුෂයා පමණක් නොවේ බිරිඳත් මුදල් උපයනවා. මෙයට දශක කිහිපයකට පෙර තිබු ආර්ථික තත්ත්වයට වඩා දැන් පවතින ආර්ථික පසුබිමේ සහ සමාජමය සාධක වල ලක්ෂණ මෙයට බලපෑම් එල්ල කර ඇති බවයි පෙනෙන්නේ. උදාහරණයක් ලෙස අද කාලයේ දරුවාව හැකි පමණ ඉහළ මට්ටමේ පාසලකට ඇතුලත් කර ගැනීමත්, ඉන්පසු පාසල් අධ්‍යාපනයට අමතරව පුද්ගලික පන්ති ආදිය මගින් දරුවා දැනුමෙන් වඩා පෝෂණය කිරීමත් බොහෝ දෙමවුපියන්ගේ මූලික ඉලක්ක බවට පත්වෙලා. ඒ අතරම අප සියල්ලන්ගේම සිහිනය ලස්සන ගෙදරකුත් තනා ගැනීමයි.

  * සැළසුම් කරන්න

ඉතින් මේ සියලු ඉලක්ක සපුරා ගන්න ඔබ මුල සිටම සැලසුම් සකස් කල යුතුයි. අවාසනාවකට මෙන් බොහෝ දෙනෙක් තමන්ට අවශ්‍ය දේ ගැන සිහින මැවුවාට එයින් පියවර කිහිපයක් ඉදිරියට ගොස් එය සැළසුමක් බවට පත් කරන්නේ නැහැ. ඔබ මුල්‍යමය වශයෙන් සාර්ථක වන්නට නම් ඔබේ දිගු කාලීන, මාධ්‍ය කාලීන සහ කෙටි කාලීන සැළසුම් සකස් කර ගත යුතු වෙනවා.

* සැළසුමක් සාදා ගැනීමට උපදෙස්

මෙය ප්‍රායෝගිකව කිරීමේදී හැකි පමණ බාධා නොමැති පරිසරයක සිට මුලින්ම තමන්ට ලඟා කරගත යුතු ජීවන මට්ටම ගැන සිත තුල පැහැදිළි සිතුවමක් මවා ගන්න. උදාහරණ ලෙස තවත් අවුරුදු 10කින් ඔබ ජීවත්වීමට බලාපොරොත්තු වන නිවසේ මොන වගේද, ඔබේ දරුවාගේ අනාගතය කෙසේ දිග හැරෙන්නේද යන්න (පාසල, උසස් අධ්‍යාපනය, විෂය පරිබාහිර කටයුතු ආදිය), ඒ වගේම ඔබ, ඔබේ ස්වාමි පුරුෂයා සහ ඔබේ දරුවන් සමග යෑමට බලාපොරොත්තු වන විනෝද ගමන් ආදිය ගැනත් සිතෙන් පැහැදිළිව දකින්න. ඉන්පසු මේ දැක්ම වචන වලට හරවා ඔබේ දිනපොතේ ලියා ගන්න. ඉන්පසු එම එක් එක් කාර්යයට අවශ්‍ය මුදල් ප්‍රමාණය සහ එම මුදල උපයා ගන්නා අයුරු ලියා ගන්න. (උදාහරණයක් ලෙස තවත් වසර 5කින් ඔබ විදේශ සංචාරයක් යෑමට බලාපොරොත්තු වන්නේ නම් එයට යන වියදම සොයා බලා, එය 60 කින් බෙදා මාසයකට වරක් එම මුදල වෙනම ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීම කළ හැකියි.) මෙසේ කල පසු ඔබ බලාපොරොත්තු වන දිගු කාලීන, මාධ්‍ය කාලීන සහ කෙටි කාලීන සිහින සහ ඉලක්ක වෙත යාමට අවශ්‍ය මුල්‍ය සැලැස්මක් ඔබට ලැබේවි.

* ධනෝපායන මාර්ග වැඩි කර ගන්න

වියදම් කිරීමට සැළසුම් කරනවා සමගම ඔබේ ධනෝපායන මාර්ග වැඩි කර ගැනීමට උනන්දු විය යිතුයි. ඒ සඳහා ඔබේ දැනුම සහ කුසලතා වර්ධනය කර ගැනීම, අලුත් අවස්ථා ගැන අවධානයෙන් සිටීම, යම් කිසි ගණනය කරන ලද අවදානමක් ගැනීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම අවශ්‍ය වෙනවා. අද කාලයේ බොහෝ මවු වරුන් නිවසේ සිටම කරන ව්‍යාපාර වන විවිධ ආහාර වර්ග සාදා විකිණීම, අත්කම් (සුභ පැතුම් පත්, බෝනික්කන්, ගෙතුම් වර්ග ආදිය) සාදා විකිණීම, තමන්ට සුදුසුකම් ඇත්නම් අමතර පංති පැවැත්වීම ආදියේ යෙදෙනවා.

* ඉතුරුම් අනිවාර්යයි

අප ඉහත කී ලෙස සැලසුමක් සහිතව මුදල් පරිහරණය කිරීම ඉතා වැදගත්. මේ සඳහා ඔබ මාසික ඉතුරුම් ඉලක්ක සාදාගත් විගස ඒ වෙනුවෙන් බැංකු ගිණුමක් විවෘත කර සෑම මසකම නිශ්චිත දිනයක (ඔබ රැකියාවක් කරන්නේ නම් පඩි දිනයට/ ස්වයං රැකියාවක් කරන්නේ නම් ඔබට ආදායම එන එන අවස්ථාවේ කැටයකට එකතු කර මාසය අවසානයේ හෝ) නිශ්චිත මුදලක් හෝ එයට වැඩි ප්‍රමාණයක් ඉතිරි කරන්න. ඉතා හොඳ පුරුද්දක් වන්නේ තමන්ගේ අතට මාසයේ පඩිය ලැබුන විට එයින් නිශ්චිත කොටසක් ඉතුරුම් ගිණුමකට දමා ඉතිරිය වෙනත් ගිණුමකට දමා දිනෙන් දින භාවිතා කිරීමයි.

* විනයක් පවත්වාගෙන යන්න

මෙම සියළු සැළසුම් ඵල දරන්නේ ඔබ නිවැරදි විනයකින් කටයුතු කලොත් පමණයි. ඒ සඳහා සෑම මාසයකම වියදම් සටහනක් ලියා තැබීම, ඉදිරි මාස තුන සඳහා වන වියදම් ඇස්තමේන්තුව සෑම මාසයකම අවසානයේ සමාලෝචනය කර බලා අවශ්‍ය වෙනස්කම් කිරීම සහ පෙර සිට ඇස්තමේන්තු නොකළ, අත්‍යවශ්‍ය නොවන වියදම් සහ මිලදී ගැනීම් වලින් වැළකී සිටීමත් මෙයට ඇතුලත්.

ඉතින් ඔබටත් මේ ලිපිය කියවන අතරේ අනිත් මවු වරුන් සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන අය සමග බෙදා හදා ගන්න කැමති කරුණක් තිබෙනවා නම් පහත ඇති Comments කොටසේ සටහන් කරන්න අමතක කරන්න එපා...ස්තුතියි!

........


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook