දරු උපතට පෙර ඔබ බජට් එකක් හදන්න ඕන!

Hits: 3264 times

බජට් එකක්? ආ ඒක හදන්නේ ආණ්ඩුවෙන් නේ. අපි මොකටද බජට් හදන්නේ? ඔබ අසාවි. ඇත්තෙන්ම අප බොහෝ දෙනෙක්ට වරදින්නේ මේ නිසා. අප අතර financial wisdom නොඑසේ නම් මුල්‍යමය කටයුතු ගැන ඇති නුවණ බොහොම අඩුයි. අප බොහෝ දෙනෙක් අපේ සල්ලි වියදම් කරන්නේ එක් එක් මොහොතේ ඇති අවශ්‍යතාව සළකා බලමින් පමණයි. බොහෝ විට අපේ ළඟ දිගු කාලීන මුල්‍ය සැලැස්මක් නැහැ. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්.

 

* බජට් එකක් යනු?

සරළ වශයෙන් කියනවා නම් බජට් එකක් යනු යම් කිසි කටයුත්තක් සම්බන්ධ ආදායම් සහ වියදම් වල ඇස්තමේන්තුවක් (පෙර සිට අනුමාන කරන ලද ආදායම් වියදම් සැලැස්මක්).

මෙයට ඇතුලත් වන ප්‍රධාන කොටස් දෙක මේ වන විටත් ඔබට පැහැදිළි ඇති. එනම් ආදායම් සහ වියදම්. අපට පුළුවන් මේ කොටස් දෙකත් තව දුරටත්කොටස් වලට බෙදීමට. උදාහරණ ලෙස ආදායම් යන්න මේ අවස්ථාවේදී ඔබේ මාසික වැටුපෙන් ලැබෙන ආදායම් වගේම ඔබ නිවසේදී තමන්ගේ රැකියාවට අමතරව අත්කම් නිෂ්පාදනයක් හෝ වගා කටයුත්තක් කරන්නේ නම් එයින් එන ආදායමත් හඳුනා ගත හැකියි. මේ දෙස බැලිය හැකි තවත් ආකාරයක් වන්නේ මුදල් එන මාර්ග සහ මුදල් යන මාර්ග ලෙස බෙදා ගැනීමයි.

ඔබ වෙත මුදල් එන මාර්ග අතර ඔබේ ආදායම් වගේම ඇතැම් විට ඔබේ දෙමවුපියන්ගෙන් හෝ සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ත්‍යාග මුදල් හෝ අතමාරු උනත් ඇතුලත් වෙන්න පුළුවන්.

වියදම් පාර්ශවය නොඑසේ නම් ඔබේ අතින් මුදල් යන ආකාර බැලූ විට දරු උපතක් බලාපොරොත්තු වෙද්දී විවිධ ආකාර ලැයිස්තු ගත කල හැකියි.

* බජට් එක සාදා ගන්නා අයුරු

මෙය කිරීමට පෙර ඔබ සියලු මුදල් ලැබෙන ආකාර සහ වියදම් වන ආකාර ලැයිස්තු ගත කර ගත යුතු වෙනවා.

පහසුතම ආරම්භය වන්නේ ඔබට ඇති විය හැකි වියදම් ලැයිස්තුගත කිරීමයි. මේ සඳහා ඔබේ ගර්භණී සමය කොටස් වලට බෙදා ගන්න. ඉන්පසුව එන සති කිහිපයත් සැළසුමට එකතු කර ගැනීම හොඳයි. එවිට සම්පූර්ණයෙන්ම වසරක් සඳහා සැළසුමක් ඔබට ලැබේවි.

එසේ බැලුවොත් ඔබේ සැළසුමට අදාළ කාල පරිච්ඡේද වන්නේ:

*පළමු ත්‍රෛමාසිකය

*දෙවන ත්‍රෛමාසිකය

*තෙවන ත්‍රෛමාසිකය

*දරුවාගේ මුල් මාස 3

 

එසේ වියදම් සියල්ල සඳහන් කල විට ඔබට පුළුවන් එම වියදම දැරීමට මුදල් සොයා ගැනීම (ආදායම්/මුදල් ලැබෙන ආකාර) සැළසුම් කිරීමට.

එසේ මුදල් සපයාගත හැකි ආකාර:

*තමන්ගේම මුදල් ඉතුරුම් ගිණුමක තබා ගැනීම

*එක් එක් මාසයේ වැටුපෙන් සපයා ගැනීම

*දෙමවුපිය/නෑදෑ ත්‍යාග

*බැංකු ණය (පුද්ගල ණය සේවය)

ණය කාඩ් පත්

මෙහිදී ණය කාඩ්පත් භාවිතය පිළිබඳ ඔබේ මනා විනයක් තිබිය යුතුයි. නිසි ලෙස නුවණ භාවිතා කරන්නෙකුට ණය කාඩ්පත ආශිර්වාදයක්.

* වියදම් විස්තරය සාදා ගැනීමට අවශ්‍ය කරුණු කිහිපයක්

අප ස්තුතිවන්ත විය යුතුයි අපේ රටේ නොමිලයේ ලබා දෙන ප්‍රමාණවත් මට්ටමේ (ඔබ බලාපොරොත්තු වන තරම් සුඛෝපභෝගී නොවුනත්) සෞඛ්‍ය සේවාවක් මගින් ගර්භණී මවුවරුන්ට පිළිසිඳ ගන්නා අවස්ථාවේ සිට දරු උපත දක්වාම රජයෙන් නොමිලයේ සේවය ලැබෙන බව. නමුත් අපේ බොහෝ පාඨකයින් පෞද්ගලික අංශයේ ප්‍රතිකාරත් ලබන නිසා අප පහත ඇතුලත් කළ රෝහල් ගාස්තු. ඔබට අදාළ නොවන අයිතම කපා හරින්න අමතක කරන්න එපා.

 

*පළමු ත්‍රෛමාසිකය

*ගර්භණී භාවය පරීක්ෂා කර ගැනීමට රුධිර පරීක්ෂණය

*මුල්ම වෛද්‍ය පරීක්ෂාවට ගාස්තු

*මාසික වෛද්‍ය පරීක්ෂාවට ගාස්තු

*මාසික සායනයට ගාස්තු

*ඇතැම් පුද්ගලික රෝහල් මුල් වරට ලියාපදිංචි වන විට ගාස්තුවක් අය කරනු ඇත

*විටමින් සහ වෙනත් ඛනිජ ලවණ පෙති/කරල් (වෛද්‍ය උපදෙස්පරිදි)

*අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් සඳහා වියදම

*විවිධ රුධිර පරීක්ෂා

*මේ සඳහා යෑම් ඊම් වලට ගමන් වියදම්

 

*දෙවන ත්‍රෛමාසිකය

*මාසික වෛද්‍ය පරීක්ෂාවට ගාස්තු

*මාසික සායනයට ගාස්තු

*විටමින් සහ වෙනත් ඛනිජ ලවණ පෙති/කරල් (වෛද්‍ය උපදෙස් පරිදි)

*විවිධ රුධිර පරීක්ෂා

*මේ සඳහා යෑම් ඊම් වලට ගමන් වියදම්

*ඇඳුම් පැළඳුම්

මේ කාලය වන විට ඔබට ගර්භණී සමයට ගැලපෙන ඇඳුම් පැළඳුම් ගැනීමටත් සිදු වේවි. මුල් මාස 3 තුල බොහෝ දෙනෙක් තමන් මේ වන විට භාවිතා කල ඇඳුම් පැළඳුම් භාවිතා කලත්, ගර්භණී සමයේ දෙවැනි කොටස එළඹෙන විට ඒ සඳහා සුදුසු ඇඳුම් සහ පාවහන් ගැනීම බොහෝදෙනෙක් කරනවා. පෙර කාලයේ මෙන් හැමෝම එකම මෝස්තරයක

ගවුම් ඇඳිය යුතු නැහැ දැන්. මන්දයත් ගර්භණී මවු වරුන් වෙනුවෙන් අලුත් විලාසිතා රැසක් සහිත ගවුම් දැන් වෙළඳ පොලට ඇවිත් තිබෙන නිසා.

*දරු උපත වෙනුවෙන් මිළදී ගැනීම්

ගර්භණී සමයේ මාස 4ක් පසු වන විට ඔබ ක්‍රමක්‍රමයෙන් දරු උපත වෙනුවෙන් උවමනා දේවල් මිළදී ගැනීම් කිරීම හොඳයි. ඒ සඳහා අවශ්‍ය වන බඩු ලැයිස්තුවක් බැලීමට පහත link

එක ක්ලික් කරන්න:

http://mathru.lk/delivery/320-what-to-take-when-going-to-deliver-baby.html

 

*තෙවන ත්‍රෛමාසිකය

*මාසික වෛද්‍ය පරීක්ෂාවට ගාස්තු

*මාසික සායනයට ගාස්තු

*විටමින් සහ වෙනත් ඛනිජ ලවණ පෙති/කරල් (වෛද්‍ය උපදෙස් පරිදි)

*විවිධ රුධිර පරීක්ෂා

*මේ සඳහා යෑම් ඊම් වලට ගමන් වියදම්

*දරු උපත සඳහා රෝහලේ ලියාපදිංචි වීමට ගාස්තු

දරු උපත සිදුවන දිනය ආසන්න වන විට ඔබ සමග අමතර මුදලක් තබා ගැනීමටත් අමතක කරන්න එපා. හදිසියේ රෝහල වෙත යෑමට සිදු උනොත් සහ වෙනත් දෙයක් මිලදී ගැනීමට සිදු උනොත් ඔබට ඒ මුදල උවමනා වේවි. ඒ වගේම ඔබේ ස්වාමි පුරුෂයා හෝ භාරකරු අතේත් එවැනි මුදලක් තබා ගැනීමට උපදෙස් දෙන්න.

 

*දරුවාගේ මුල් මාස 3

දරුවා ඉපදුන වහාමත් ඔබට විවිධ වියදම් රැසකට මුහුණ පාන්න සිදුවේවි. උදාහරණ ලෙස:

*උප්පැන්න සහතික සාදා ගැනීම ආශ්‍රිත වියදම්

*මුල් දින කිහිපයේ දරුවාට සහ මවට අවශ්‍ය ඇතිරිලි/සනීපාරක්ෂක භාණ්ඩ ආදිය සඳහා වියදම්

*රෝහල් කාර්ය මණ්ඩලයට සංග්‍රහයක් කිරීමත් දැන් බොහෝ දෙනෙක් සිදු කරනවා (නමුත් කිසිම විටෙක මෙය අපේක්ෂාවෙන් නොවේ ඔවුන් ඔබට සේවය කරන්නේ)

*දරුවාගේ පියා සහ ඔබ දෙපලගේ දෙමවුපියන්ට දරුවා බැලීමට යෑම් ඊම් සඳහා ගමන් වියදම්

*ඔබ සහ දරුවා රෝහලේ සිට නිවසට ගෙන යෑමට ගමන් වියදම්

*දරුවාට සුදුසු ලෙස නිවස පිරිසිදු කිරීමට අවශ්‍ය වියදම්

මේ ආකාරයෙන් බොහෝ වියදම් ඔබට සිදු කරන්නට වේවි. ඒ සියල්ලේ සටහනක් සාදා ගෙන එක් එක් වියදම සඳහා ඇස්තමේන්තුව සාදා ගන්න.

* "ආදායම්" නොඑසේ නම් "මුදල් ලබා ගන්නා ආකාර"

ඉහත උපදෙස් අනුව ඔබගේ වියදම් ඇස්තමේන්තුව සාදා ගත්පසු ඔබට පුළුවන් එම මුළු මුදල කොටස් වලට බෙදීමට. ඉතාම සුදුසු ක්‍රමය නම් මුළු මුදල කොටස් වලට බෙදා (උදාහරණයක් ලෙස මාස 9කට) මාසයෙන් මාසයට අදාළ මුදල වෙනම ගිනුමක තැන්පත් කිරීමයි. එවිට ඔබට මාසික වැටුප ලැබුන වහාම එම මුදල වෙන් කල හැකියි.

මේ හැරුණ විට ඔබට හදිසියකදී පරිහරණයට ණය කාඩ් පතක් තබා ගත හැකියි. එහිදී උපරිම ප්‍රයෝජනය ලැබිය හැක්කේ විවිධ ණය කාඩ් පත් වලින් ඔබට අවශ්‍ය දේ වට්ටම් සහිතව ලබා දෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමෙන්. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි එම මුදල ගෙවීමට නියමිත දිනය සහ ඒ දිනය වන විට ඔබට ආදායම් මාර්ගයක් මගින් එම මුදල ඔබේ අතට එන බව.

මේ අයුරින් ගර්භණී සමය සහ දරු උපත සම්බන්ධ ආදායම්/වියදම් ඇස්තමේන්තුව (බජට් එක) පිළියෙළ කර ගත්තොත් ඔබට පුළුවන් දරු උපතත් සමග එන අභියෝගය මඳක් පහසු කර ගන්න. ඒ වගේම අපට මඟ හැරුණ කරුණු තිබුනොත් ඒ බව පහත comment මගින් අපට දන්වන්නත් අමතක කරන්න එපා.

ඉතින් ඔබටත් මේ ලිපිය කියවන අතරේ අනිත් මවු වරුන් සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන අය සමග බෙදා හදා ගන්න කැමති කරුණක් තිබෙනවා නම් පහත ඇති Comments කොටසේ සටහන් කරන්න අමතක කරන්න එපා...ස්තුතියි!

........

 

 


Follow us on Facebook

Join Our Community

Sign in with Facebook