ගර්භාෂයෙන් පිටත සිදුවන දරු පිළිසිඳ ගැනීම්

Hits: 34778 times

 ගර්භාෂයෙන් පිටත සිදුවන දරු පිළිසිඳ ගැනීම් Ectopic Pregnancy Sinhala Article සාමාන්‍යයෙන් දරු උපතක් සිදුවීමේදී දරුවා පිළිසිඳ ගන්නේ ගර්භාෂය තුල. එහි ඇති ආරක්‍ෂිත පරිසරය තුල අලුත උපන් ජීවය කෙමෙන් කෙමෙන් සම්පුර්ණ දරුවකු බවට වැඩෙනවා. නමුත් සමහර අවස්ථාවල පිළිසිඳ ගැනීම ගර්භාෂයෙන් පිටත දී සිදුවන්නට පුළුවන්. මෙය "Ectopic Pregnancy" ලෙස හඳුන්වනවා. ගැබ් ගැනීම් 50කට එකක පමණ මෙය සිදුවීමට ඉඩ තිබෙනවා. ඉතින් ඔබට පෙනෙනවා ඇති මෙය තරමක් සුලභ සංකුලතාවයක් බව. නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර නොලැබුනොත් මෙය ගැටළු සහිත තත්වයකට පත්විය හැකි නිසා ඔබත් ඒ ගැන දැනුවත්වීම වැදගත්...

* Ectopic Pregnancy (එක්ටොපික් ගැබ්ගනීමක්) සිදුවන්නේ කෙසේද?

සියලුම මනා සෞඛය තත්වයෙන් සිටින වැඩි විය පැමිණි කාන්තාවන් තම ඩිම්භකෝෂවල සිට පැලෝපීය නාලය තුලට ඩිම්බ මුදා හරිණු ඇත. එය යම් අවස්තාවක පිරිමියකුගෙන් ලැබෙන "ශුක්‍රාණුවක්" සමග එක්වූ විටයි සංසේචනය වී කලලයක් බවට පත්වන්නේ. සාමාන්‍යයෙන් මෙම සංසේචනය සිදුවන්නේ පැලෝපීය නාලය තුලය. එසේ සංසේචනය වූ කළලය කෙමෙන් කෙමෙන් ගර්භාෂය වෙත ඇදී ගොස් ගර්භාෂයේ තැන්පත්වී වැඩීම සාමාන්‍ය තත්වයයි. නමුත් ගැබ් ගැනීම් 50කට 1කදී පමණ පැලෝපීය නාලයේ සිට ගර්භාෂය වෙත එමෙන් වැලකි ගර්භාෂයෙන් පිටත තැන්පත්වීම සිදුවනු දැකිය හැකියි. එය "Ectopic" (එක්ටොපික්) තත්වය ලෙස හඳුන්වනවා. එවිට එම භ්‍රෑණය වර්ධනය වීමට සුදුසු පරිසරයක් ලැබෙන්නේ නැහැ. එවිට එම භ්‍රෑණය මිය යාමට ඉඩ තිබෙනවා! එපමණක් නොවේ, මවගේ ජීවිතයත් මේ නිසා අවදානම් තත්වයකට පත්වෙනවා. මෙහි ඇති භයානක තත්වය වන්නේ මෙම තත්වය ගර්භනී සමයේ මුල්ම සති කිහිපය තුල සිදුවන නිසා සමහරවිට තත්වය දරුණු වනතුරු ඔබට දන ගැනීමට නොහැකි වීමයි.

 

ectopic 2

* යුක්තානුවක් (සංසේචනය වූ ඩිම්බයක්) තැන්පත් විය හැකි වෙනත් ස්ථාන මොනවාද?

පැලෝපීය නාලයට අමතරව සමහර අවස්ථාවල ඩිම්බ කෝෂ තුල / ගැබ්ගෙලේ / උදාර කුහරය තුල මෙම තැන්පත් වීම සිදුවිය හැක. ඉතා කලාතුරකින් සිසේරියන් සැත්කම් කල පසු ඉතිරිවන කැළල ආශ්‍රිතවත් මෙය සිදුවිය හැක.

* Ectopic Pregnancy (එක්ටොපික් ගැබ්ගනීමක්) සිදුවීමට බලපාන කරුණු මොනවාද?

  • - ඔබේ පැලෝපීය නාල තුල උපතින්ම තිබුණු සංකුලතාවයක් නිසා එය සිහින් වී තිබීම
  • - පැලෝපීය නාලයට සිදුවූ යම් හානියක් නිසා එය තුලින් භ්‍රෑණය ගර්භාෂය වෙත තල්ලු කිරීමට හැකියාව අඩු වීම
  • - ගොනොරියාව වැනි ලිංගික රෝගයක්
  • - ගර්භක්ෂේත්‍රය ප්‍රදේශයේ ඇති සංකුලතා (scarring of endometrium)
  • - ශ්‍රෝණිය ආශ්‍රිත ආබාධ/ මීට පෙර කල සැත්කම්
  • - මඳසරුබව සඳහා කරන ලද ප්‍රතිකාර වල අතුරු පල (side effects)
  • - ඉතාකලාතුරකින් IUD නමින් හඳුන්වන උපත් පාලන ක්‍රමයද මෙම ගැටළුවට මුල්විය හැක
  • - වයස 35ට වැඩි වීමත් මෙම අවදානම ඉහල යවයි
  • - දුම්පානය සහ මත්පැන් පානය නිසාද පැලෝපීය නාල නිසි ලෙස ක්‍රියාකිරීම අඩාල වේ
  • සමහර විට ඉහට දැක්වෙන එක කරුණක්වත් නොමැතිව අස්වාභාවික ගැබ් ගැනීම් සිදුවන අවස්ථාද නැත්තේ නොවේ!

* Ectopic Pregnancy (එක්ටොපික් ගැබ්ගනීමක්) සිදුවී ඇතිබව දැනගන්නේ කෙසේද?

ගර්භණී සමයේ මුල් අවධියේදී මෙවැනි ගැබ් ගැනීමක් සිදුවන බවට කිසිදු සලකුණක් නොදැනීමට ඉඩ තිබේ. ඔබ නොදැනුවත්වම මෙම වර්ධනය සිදුවී නොසිතු මොහොතක මලදරු උපතක් ලෙස භ්‍රෑණය ඉවතට පැමිණීමට ඉඩ ඇත. තවත් අවස්තාවලදී සාමාන්‍ය ගැබ් ගැනීමක ලෙසම ඔබට ඔක්කාරය, හිස කරකැවිල්ල ආදිය දැනෙන්නට ඉඩ ඇත. එවිට ඔබ ගර්භණී භාවය සඳහා වන පරීක්ෂාවක් කලොත් එයද ගැබ් ගැනීමක් වී ඇති බව දක්වනු ඇත. නමුත් වෙනස වන්නේ ඔබට උදරයේ වේදනාවක් දැනීම, යෝනි මාර්ගයෙන් රුධිර වහනය ආදිය දැකීමට ලැබීමයි. එවිට ඔබ වහාම වෛද්‍ය වරයකු හමුවිය යුතුය. සමහරවිට ඔබ මෙම රුධිර වහනය ඔසප් වීමක් ලෙස සැලකීමට පුළුවන. මෙම රුධිර වහනය කුඩා ප්‍රමාණයෙන් හෝ වැඩියන් හෝ නිතරම හෝ විටින් විට හෝ සිදු විය හැක. එසේම සමහර කානතාවන්ට මඳ උණ ගතිය, ඇඟට පණ නැති බව සහ වමනය ආදියත් දැනීමට ඉඩ ඇත. වෛද්‍ය වරයා ඔබව පරීක්ෂා කර බලන විට දැඩි වේදනාවක් දැනීමත් මෙම එක්ටොපික් තත්වය පිලිබඳ ඉඟි කරන්නක් විය හැකියි. එවිට වෛද්‍යවරයාට එය පැහැදිලිව දන්වන්න. ඔබගේ උරහිසේ වේදනාවක්, මස්පිඩු පෙරළීම් ආදිය පිළිබඳවත් අවධානයෙන් සිට වෛද්‍ය උපදෙස් පතන්න. මෙම සියලු දේ සලකා බලා වෛද්‍යවරයා විසින් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් කිරීමෙන් මෙවැනි ගැබ් ගැනීමක් සිදුවී ඇතිදැයි සොයා බැලිය හැක.

* මෙවැනි ගැබ් ගැනීම් පිලිබඳ අවධානයෙන් සිටිය යුත්තේ ඇයි?

මෙවැනි තත්වයක් ඇතිවී ඒ පිලිබඳ අවධානය යොමු නොකලොත් දරුගැබ මියගොස් මල දරු උපතක් වීමේ අවධානම ඉතාම ඉහළයි. බොහෝවිට ගර්භණී සමයේ මුල් කාලයේදීම මෙසේ මළ දරු උපතක් සිදුවිය හැක. මෙවැනි ගැබ්ගැනීම් සියල්ල මවගේ ජීවිතයට තර්ජනයක් එල්ල නොකලත් නිසි ප්‍රතිකාර නොලැබුනොත් එසේ තර්ජනයක් වීමට ඉඩ ඇත. මෙහි දරුණුම තත්වය වන්නේ පැලෝපීය නාලය තුවාල වීමක් සිදුවීම, අධික අභ්‍යන්තර ලේ වහනය සහ රුධිර පීඩනය අධික ලෙස පහල යාම ආදියයි. මෙවැනි තත්වයන් මවගේ ජීවිතය අවසන් කිරීමට සමත්!

* මෙයට ඇති ප්‍රතිකාර මොනවාද?

ගැබ් ගැනීම ආශ්‍රිතව ඇති අවදානම් ස්වභාවය අනුව ප්‍රතිකාර තීරණය වේ. එහිදී කලළයේ ප්‍රමාණය අනුව ප්‍රතිකාර ක්‍රමයක් තෝරා ගනු ලැබෙයි. එක්ටොපික් තත්වය දැනගත් වහාම වෛද්‍යවරුන් නිසි ප්‍රතිකාර අරඹනු ඇත. බොහෝ විට සිදුකරන්නේ බෙහෙතක් එන්නත් කිරීමෙන් එම කළලය මවගේ පඨක වෙත උරා ගැනීමට සලස්වන එන්නතක් ලබාදීම හෝ හෝ සැත්කමක් මගින් එය ඉවත් කිරීමයි.

* මෙවැනි තත්වයක් වරක් ඇතිවූ විට මට නැවත ගැබ් ගැනීමක් සිදුවිය හැකිද?

ඔවු. නමුත් ඊළඟ ගැබ් ගැනීමට පෙර මාස කිහිපයක් සිටීම සුදුසුය. ඔබ මේ පිළිබඳව වෛද්‍ය තුමන්ගේ උපදෙස් පැතිය යුතුය. විශේෂයෙන්ම මෙම සිද්ධිය මානසිකව ඔබව පහතට ගෙනයන දෙයක්. මතක තබා ගන්නේ මෙය සිදුවන්නේ ඔබේ හෝ ඔබේ ස්වාමි පුරුෂයාගේ වරදින් නොවේ. එනිසා ධනාත්මකව මෙම අභියෝගයට මුහුණ දීම වැදගත්ය... අවශ්‍ය නම් උපදේශන සේවාවක් ලබාගැනීමටද පසුබට වන්න එපා... 

English Article: http://mathru.lk/pregnancy/124-ectopic-pregnancy-fetus-developing-outside-the-womb.html

................

Article verified by: Dr (Mrs) Kaushalya Mendis

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න 

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

 .................

මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනය වෙතිනි. This article was brought to you by Lanka Hospitals PLC.

 




Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook