ගබ්සාවක් කියන්නේ කවුරුත් දුකට පත්වන දෙයක්.. නමුත් බලාපොරොත්තු අත හැර ගන්න එපා

Hits: 5304 times

සෑම සංසර්ගයකම සංසේචනයකින් අවසන් නොවේ.එසේම සෑම සංසේචනයක්ම සාර්ථක දරු උපතකින් කෙළවර වන්නේ නැහැ.ලෝකයේ අලුත්ම දත්ත වලට අනුව පිළිසිද ගැනීම් වලින් 15-20 % ක්ම අවසන් වන්නේ  ගබ්සා වීමකිනුයි.

ඇත්තටම ගබ්සා වීමක් කියන්නේ මොකක්ද....?

මව් කුස තුල තවදුරටත් ජිවය පවත්වාගැනීමට නොහැකි වීම නිසා දරු ගැබ ඉවත් වීමේ ක්‍රියාවලිය ගබ්සා වීමක් ලෙස හඳුන්වනවා. මෙය සති 24 පෙර සිදුවන අතර ඊට පසු සිදුවන ක්‍රියාවලිය  හදුන්වන්නේ මළදරු උපතක් ලෙසයි. මේ අතරින් ගබ්සා වීම් සුලබව සිදුවන්නේ සති 12 ට පෙරදීයි.

“ලේ යනවා - ඒ කියන්නේ දරුවා නැති වෙලාද....? ”

ගබ්සා වීමක මුලිකම ලක්ෂණය රුධිර වහනය වීමයි. මේ සමග උදරයේ කැක්කුම් ඇති වීමටද ඉඩ ඇත. නමුත් පුර්ව ප්‍රසව සමයේ රුධිර වහනයට එකම හේතුව ගබ්සා වීම පමණක් නොවේ. මීට අමතරව   

  • ගර්භාශයෙන් පිටත දරුවා පිහිටන අවස්ථා (Ectopic pregnancy)
  • කළලයේ අසාමාන්‍යතා (Gestational trophoblastic disease)

වැනි හේතු නිසා රුධිර වහනයක් සිදු විය හැකියි.

ඒ වගේම තමයි රුධිර වහනයක් නොමැතිවද ගබ්සා වීමක් සිදු විය හැකියි. ඒ නිසා රුධිරවහනය වූ පමණින් ඔබ කලබල විය යුතු නැහැ. කලයුත්තේ ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමු වී ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීමයි.

වෛද්‍යවරයා හමු වූ පසු .........

ගබ්සා වීම් වෛද්‍ය විද්‍යාත්මකව වර්ග කිහිපයකට වෙන් කර ගන්න පුළුවන්. එම නිසා ඔබට ලබා දෙන ප්‍රතිකාර ක්‍රමද ඒ අනුව වෙනස් වෙනවා.

තර්ත ගබ්සාවීම (threatened miscarriage)

මෙහිදී රුධිර වහනයක් සිදු වුවත් දරුවාට  කිසිදු ගැටලුවක් වී නොමැති අතර ස්කෑන් පරීක්ෂණයෙන් දරුවාගේ හෘධ ස්පන්දනය බැලීමෙන් මෙය තහවුරු කර ගත හැක. එවිට ඔබට ඇද විවේක ගැනීමට  උපදෙස් ලබා දෙනු ලබන අතර අවශ්‍යනම් ඖෂධයක් නිර්දේශ කරනු ඇත.

සම්පුර්ණ ගබ්සාවීම(complete miscarriage)

මෙහිදී ස්කෑන් පරීක්ෂණයෙන් කළලය සම්පුර්ණයෙන් ඉවත් වූ බව තහවුරුකර ගත හැකි අතර සතියකට පමණ පසු තවත් ස්කෑන් පරීක්ෂණයක් කර සියලුම කොටස් ඉවත් වී ඇති බව තහවුරු කරගනු ඇති.

අසම්පූර්ණ ගබ්සාවීම(incomplete miscarriage)

මේ අවස්ථාවේදී කළලයේ කිසිදු ජිවයක් නැති නමුත් කළල කොටස් ගර්භාෂය තුල ඉතිරි වී පවතී. සාමාන්‍ය පරිදී මෙය ඉවත් නොවුනහොත් මෙහිදී ඖෂධයක් ඇතුළු කිරීමෙන් පසු හෝ කුඩා සැත්කමක් (ERCP-Evacuation of Retained Production of Conception) මගින් ඉතිරි වී ඇති කොටස් ඉවත් කිරීම කළ යුතුයි.

මගහැරුණු ගබ්සාවීම(missed miscarriage)

සමහර  අවස්ථා වල රුධිර වහනයක් නොමැතිවම ගබ්සා වීමක් සිදු වී තිබිය හැකියි. මෙහිදී ගර්භනී බව හගවන ලක්ෂණ ටිකින් ටික පහව යන අතර ස්කෑන් පරීක්ෂණයෙන් හෘධ ස්පන්දනයක් නොමැති කුඩා කළල කොටසක් පමණක් දැකිය හැකියි. සාමාන්‍ය පරිදී මෙය ඉවත් නොවුනහොත් පෙර අවස්ථාවේ මෙන්ම ඖෂධයක් ඇතුළු කිරීම හෝ සැත්කමක් අධාරයෙන් මෙය ඉවත් කිරීම සිදු කරයි.

වැළැක්විය නොහැකි ගබ්සාවීම(inevitable miscarriage)

මෙහිදී ගැබ්ගෙල විවෘතව පවතින අතර හෘධ ස්පන්දනය දැකිය හැකි වුවත් රුධිර වහනය සමග මෙම කළලය බොහෝ විට ඉවත් වන්නකි. අවශ්‍ය වුවහොත් ඉහත පරිදීම ඖෂධයක් හෝ සැත්කමක් කිරීමට සිදු වේ.

ඉහත ප්‍රතිකාර වලට අමතරව මවගේ රුධිර ගණය Negative (O-,A-,B- ,AB-) නම්, ගර්භයට සති 12 ට වැඩි නම් රෝගම් යන ඖෂධය ලබා දිය යුතු අතර  සති 12 අඩු වුනත් අධික රුධිර වහනයක් හෝ සැත්කමක් හෝ ඖෂධ භාවිතා කරන්නේ නම් එම ඖෂධය ලබා දිය යුතුයි.

ඇයි මෙහෙම වෙන්නේ.....

මීට හේතුවක් නිශ්චිතවම කීම අපහසුයි. ගර්භනී බව දරා ගන්නා ආකාරය කාන්තාවගෙන් කාන්තාවට  විතරක් නෙමෙයි ගැබ් ගැනීමෙන් ගැබ් ගැනීමට වෙනස්. බොහෝ විට පළමු සති කිහිපය ඇතුලත සිදු වන ගබ්සා වීම වලට හේතුව කළලයේ ඇති අසාමාන්‍යතායි. ගබ්සාවීම් හැම ගර්භනී මව් වරු 5 දෙනෙකුගෙන් එක අයෙකු අත් විදින්නක්.

නමුත් වාර කිහිපයක් ගබ්සා වීම අත් වින්දා නම් සමහරවිට  ඒ

  • ගර්භාශයේ ගෙඩි (Fibroids)
  • රුධිරඝණ වෙනස් කම්
  • ජානමය ගැටළු
  • සමහර රෝග (Anti phospholipid Syndrome)  වැනි තත්ව නිසා විය හැකියි.

රුධිර වහනය කොයිතරම් කල් පවතියි ද......

සාමාන්‍යයෙන් ගබ්සා වීමෙන් පසු සති 3 ක් දක්වා රුධිර වහනය සිදු විය හැකියි. කළල කොටස් පිටවන අවස්ථාවේ ඔබට වේදනාවක් දැනෙන නමුත් ඉන්පසු මෙය වේදනා රහිත ක්‍රියාවලියක් බවට පත් වේ.

එසේම රුධිරයේ HCG මට්ටම පහළ බැසීමටත් සති 3 ක පමණ කාලයක් ගත වේ. එනම් ගබ්සාවෙන් ටික දිනකට පසුවද මුත්‍රා සාම්පලය HCG පටිය Positive ලෙස (රතු ඉරි 2ක) පෙන්වන බවයි. 

ගබ්සාවකට පස්සේ.........

ගබ්සාවීමක් කියන්නේ කායිකවත් මානසිකවත් විශාල පීඩනයක් ඇතිකරන අවස්ථාවක්. එය ඔබ පමණක් නොව බොහෝ කාන්තාවන් අත් විදින, අත් විදපු  සිදුවීමක්.

බොහෝ බලාපොරොත්තු පොදිබැදන් දෝතට ගන්න හිටපු ඔබේ සිගිති හීනය දන්නෙම නැතුව බොද වුන මේ වෙලාවේ ඔබට ශක්තියක් වෙන්න ඔබේ සැමියා, ඔබේ පවුලේ අය ලග හිදීම ගොඩාක් වැදගත්. මොකද බොහෝ මව්වරුන් විශාදය වැනි මානසික රෝග තත්වවලට පත් විය හැකි නිසායි.

රුධිර වහනය වීම, සැත්කම , ආහාර අරුචිය වගේ කාරණා නිසා ඔබ දැන් කායිකවත් පිරිහිලා. මේ නිසා දින කිහිපයක් විවේක ගැනීම කායික වගේම මානසික තත්වය සාමාන්‍ය අතට පත් වීමට උපකාර වනු ඇත. නමුත් දින ගණනක් කිසිදු වැඩක් පලක් නොමැතිව ඇද විවේක ගැනීම නම් අනවශ්‍යයි.

මෙය තවත් එක සිදු වීමක් පමණක් බව සිතන්න. මොකද තව මාස කිහිපයකින් ඔබේ සිරුර යථාතත්වයට පත් වනු ඇති අතර එවිට ඔබේ හීනය ඇත්තක් කරගැනීම අපහසු නොවන නිසායි. ඒ සදහා ඔබේ සිරුර වගේම මනසත් සුදානම් විය යුතුයි.මේ නිසා නැවත පිළිසිද ගැනීමක් සිදුවන කාලය නිශ්චිතවම කීම අපහසුයි. ඔබේ රුධිර වහනය නතර වී ඔබ මානසිකව සුදානම් වූ විට ලිංගික ජීවිතය අරඹා නැවත උත්සාහ කිරීම මේ සදහා වැදගත් වෙයි.

ආයිමත් ගබ්සාවක් වෙයි ද ........?

නැවත නැවත ගබ්සා වීම් සිදුවන්නේ ඉතාම සුළුතරයකට පමණයි. නමුත්  බහුතරයකට මෙම අවදානම නැහැ.

ඒ කියන්නේ කලින් සදහන් කරපු විදිහට අනික් හැම කාන්තාවක් වගේම දරු උපතක් සදහා 80% අවස්ථාවක් හා ගබ්සාවීමකට 20% අවස්ථාවක් ඇති බවයි

................

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

.................

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "share" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

................

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook