ඔබේ කුස තුල සිටින දරුවාට භයානක ලෙස බලපෑ හැකි ආසාදන

Hits: 4424 times

බැක්ටීරියා සහ වෛරස් ආසාදන ඉතා ම සුලභයි. ඔබටත් මටත් අන් අයටත් ජීවිතයේ කවදාක හෝ  අනිවාර්යයෙන් ම සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ උණක් සෑදී තිබෙනවා. එවන් බොහොමයක් ආසාදන ඔබට පමණක් සුළු අපහසුතාවක් ඇති කොට සුව වී යනවා. එහෙත් සමහර ආසාදන ඔබටත්, ඔබේ දරුවාටත් දැඩි ව බලපානවා. වාසනාවකට එවන් ආසාදන එතරම් සුලභ නැහැ.

කුස තුල දී දරුවාට දැඩි ලෙසා හානි කරන ආසාදන අතර රුබෙල්ලා (Rubella), පැපොල (Chicken pox), ටොක්සොප්ලාස්මා (Toxoplasma) සහ සයිටොමෙගලොවෛරස් (Cytomegalovirus) ප්‍රධාන තැනක් ගන්නවා. අපි මේ ආසාදන එකින් එක ගැන විමසා බලමු.

රුබෙල්ලා (Rubella)

රුබෙල්ලා යනු togovirus වර්ගයට ගැනෙන වෛරසයක්. ආසාදිත කෙනෙකුගේ ප්‍රශ්වාස වාතය සමඟත්, කහින විටත්, කිවිසුම් හරින විටත් රුබෙල්ලා වෛරසය පිට වී ආශ්වාස වාතය සමඟ වෙනත් කෙනෙකුගේ සිරුරට ඇතුලු වෙනවා. සිරුරට වෛරසය ඇතුලු වුනත් ආසාදිත මවුවරුන්ගෙන් අඩකටවත් කිසිදු රෝග ලක්ෂණයක් ඇති වන්නේ නැහැ. මේ ආසාදනයෙන් වැඩිම බලපෑම ඇති වන්නේ ගර්භණී සමයේ මුල් අවධියේ දී යි. සති 13 ට අඩු කාලයේ දී මෙම වෛරසය දරුවාට ඇතුලු වුනොත් දරුණු ප්‍රතිඵල ඇති වෙනවා. සති 13 ට අඩු කාලයේ දී මෙම වෛරසය දරුවාට ඇතුලු වුනොත් අනිවාර්යයෙන් ම දරුවාගේ මොලය කුඩා වීම, මන්ද බුද්ධිකතාවය, ඇසේ සුද, අසාමාන්‍ය ලෙස කුඩා ඇස්, හදවතේ සිදුරු, බිහිරි බව, තයිරොයිඩ් හෝමෝනය අඩු වීම, මොලය ඉදිමීම හා දියවැඩියාව ඇති විය හැකියි. මෙම ආසාදනය වැලැක්වීමට ගැබ් ගැනීමට පෙර MMR ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගත යුතුයි. එම එන්නත ලබා ගෙන මාස තුනක් ඇතුලත ගර්භණී නොවීමට ද වග බලා ගත යුතුයි. 

පැපොල (Chicken pox)

පැපොල රෝගය ඇති කරන්නේ Varicella නම් වෛරසයක්. මෙය කිවිසුම් හා ප්‍රාශ්වාස වාතය සමඟ පිටවී ආශ්වාස වාතය සමඟ වෙනත් කෙනෙකුගේ සිරුරට ඇතුලු වෙනවා. පැපොල රෝගය නිසා මවගේ සිරුරේ කුඩා බිබිලි ඇති වෙනවා. මේ බිබිලි සාමාන්‍යයෙන් ඇති වන්නේ පපුව, බඩ හා බෙල්ල ප්‍රදේශයේ යි. මෙම බිබිලි ඇති වීමට සතියකට පෙර සිට, බිබිලි උඩ කබොල බැඳී සතියක් පමණ යන තෙක් ආසාදිත පුද්ගලයෙකුගෙන් වෛරසය පැතිරිය හැකියි. සති 20 ට අඩු ගර්භණී කාලයේ දී මවට පැපොල වැලඳුනහොත් 3% ක් අවස්ථා වල දී කුස තුල සිටින දරුවාට ද වෛරසය බලපෑ හැකියි. මේ වෛරසය නිසා දරුවාගේ මොලයේ කුටීර විශාල වීම, මොලයේ පිටත ස්ථරය කුඩා වීම, මන්ද බුද්ධිකතාවය, ලමා කාලයේ දීත් ඉබේ ම මුත්‍රා හා මල පහ වීම, සමේ විශාල කැලැල් ඇති වීම, ඇස් අසාමාන්‍ය ලෙස කුඩා වීම, ඇසේ සුද, අත් පා කෙටි වීම, අක්මාව හා පෙනහළු ප්‍රදාහය ඇති විය හැකියි. ගර්භණී සමයේ අවසාන කාලයේ, ප්‍රසූතියට දින 5 කට පෙර මවට පැපොල වැලඳුනොත් උපන් පසු දරුවාට Aciclovir සහ ප්‍රතිදේහ ලබා දීමට සිදු වෙනවා.  

සයිටොමෙගලොවෛරස් (Cytomegalovirus)

මෙම වෛරසය Herpesvirus වර්ගයට අයත් වෙනවා. කෙල, මුත්‍රා ආදී ශ්‍රාවයන් සමඟ ආසාදිත පුද්ගලයෙකුගේ සිරුරෙන් මෙම වෛරසය පිට වෙනවා. වෛරස්ය අඩංගු තරලයන් ශරීරගත වුනොත් ආසාදනය ඇති විය හැකියි. කුස තුල සිටින දරුවාගේ අක්ෂි ආබාධ, මොලයේ කැල්සියම් තැන්පත් වීම, බිහිරි බව, මොලය කුඩා වීම, මන්ද බුද්ධික බව, අක්මාව හා ප්ලීහාව විශාල වීම මෙම වෛරස් ආසාදනයේ ප්‍රතිඵලයි. මවගේ සිරුරට වෛරසය ඇතුලු වුනත් 90% විට දී දරුවාට හානියක් ඇති වන්නේ නැහැ. 

ටොක්සොප්ලාස්මා (Toxoplamsa)

පූසන්ගේ මල පහ වලින් අපිරිසිදු වූ ආහාර ශරීරගත වීම නිසා මෙම ආසාදනය ඇති විය හැකියි. මවට මෙම ආසාදනය නිසා උණ, ඇඟ පතේ වේදනාව හා කුද්දෙටි ඉදිමීම ඇති වෙනවා. මවගෙන් දරුවාට මෙම ආසාදනය ගියොත් දරුවගේ මොලයේ කැල්සියම් තැන්පත් වීම, මොලය කුඩා වීම, මොලයේ කුටීර තුල මස්තිෂ්ක සුෂුම්නා තරලය එකතු වීම, අපස්මාරය හා අක්ෂි ආබාධ ඇති විය හැකියි. මෙම ආසාදනයේ හානි වැඩි වන්නේ ගර්භණී සමයේ මුල් අවධියේ දී යි. මෙම වෛරසය ශරීරගත වීම වැලැක්වීම ඉතා වැදගත් වන අතර මවට ප්‍රතිජීවක ලබා දීමෙන් හානිය අවම කර ගත හැකියි.

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook