ගර්භණී සමය හා අපස්මාර රෝගය

Hits: 1881 times

අපස්මාර රෝගය ලෝකයේ 100 කින් 1 කට තිබෙන බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. ලෝකයෙ අපස්මාර රෝගීන්ගෙන් 80% ක් ම ජීවත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලයි. 2013 දී ලෝකයේ අපස්මාර රෝගය නිසා මරණ 116000 ක ට වඩා සිදු වුනා. අපස්මාර රෝගී කාන්තාවක් ගර්භණී වුනොත් හෝ ගර්භණී සමයේ දී අලුතින් අපස්මාර තත්වයක් ඇති වුනොත් ඇයට සුවිශේෂී අභියෝග වලට මුහුණ දීමට සිදු වෙනවා.

 

ගර්භණී සමයේ අපස්මාරය නිසා ඇති වන ගැටළු

ගර්භණී කාලයේ දී අපස්මාර තතවයක් ඇති වුන හොත් ඔබටත් දරුවාටත් විවිධ අපහසුතා ඇති වෙනවා. අපස්මාරය නිසා ඔබ සිහි සුන් වී බිම වැටී තුවාල වීම සුලභ ම සිද්ධියක්. සමහර අපස්මාර රෝගීන්ගේ අපස්මාර තත්වය සුව නොවී එක දිගට විනාඩි 10 - 20 පවතින අවස්ථා තිබෙනවා. මෙය Status epilepticus යැයි හඳුන්වනවා. ගර්භණී කාලයේ මෙවැනි තත්වයක් ඔබට ඇති වුනොත් ඔබේ දරුවාට ලේ ගමන් කිරීමේ අඩුවක් ඇති වී දරුවා මිය යාමට පවා ඉඩ තිබෙනවා. වාසනාවකට මෙම තත්වය ඇති වන්නේ ඉතා කලාතුරකින්. අපස්මාරයේ දී ඔබගේ ශරීරයේ පවතින අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වය සහ ලේ ගමන් කිරීමේ අඩුව නිසා දරුවාගේ මොලයේ වර්ධනය අඩාල විය හැකියි. එවිට, ඉපදුනු පසුව දරුවා ඇවිදීමට, කථා කිරීමට හා ඉගෙනීමට ප්‍රමාද විය හැකියි. අපස්මාර රෝගය නිසා මෙන් ම එයට ප්‍රතිකාර ලෙස දෙන බෙහෙත් නිසාත් භයානක ප්‍රතිඵල ඇති විය හැකියි. එම බෙහෙත් නිසා දරුවාගේ ශරීරයේ යම් විකෘතිතාවයන් ඇති වීමේ හැකියාවක් තිබෙනවා. දිගු කලක් අපස්මාරයට බෙහෙත් පාවිච්චි කලා නම් ඔබට යම් විටක එම බෙහෙත් ගර්භණී සමයේ දී ද එලෙසම ගැනීමට සිදු වෙනවා. ගර්භණී කාලය පුරා ම එම බෙහෙත් වලට දරුවා නිරාවරණය වන අතර දරුවා ඉපදුනු පසු එම බෙහෙත් වල බලපෑම එක් වර නැති වී යාම නිසා "Neonatal withdrawal syndrome" නම් තත්වය ඇති විය හැකියි. මෙහි දී නිතර නිඳිමත ගතිය, නිසියාකාර ව මව් කිරි නොබීම දක්නට ලැබෙනවා. අපස්මාරයට දෙන බෙහෙත් වලින් ශරීරයේ විටමින් K අඩු වීම නිසා අළුත උපන් දරුවාගේ රුධිර වහනයක් (Heamorrhagic disease of new born) ඇති විය හැකියි.   

අපස්මාර රෝගය ඇති මවක් ගර්භණී වීමට පෙර කල යුත්තේ මොනවා ද?

ගැබ් ගැනීමට පෙර මෙවැනි කාන්තාවන් ඔබේ ස්නායු විශේෂඥ වෛද්‍යවරයා මෙන් ම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා ද මුණ ගැසීම ඉතා යෝග්‍යයි. එහි දී ඔබට හා ගැබ් ගැනීමෙන් පසු දරුවාට ඇති විය හැකි හානි ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැකියි. අපස්මාරයට කාලයක් තිස්සේ බෙහෙත් නිවැරදි ව ගැනීම නිසා වසර දෙකකට වඩා වැඩි කාලයක් රෝගය නැවත මතු නොවුනේ නම් වෛද්‍ය උපදෙස් අනුව ගැබ් ගැනීමට පෙර බෙහෙත් නතර කල හැකියි. ගැබ් ගැනීමට පෙර ෆෝලික් අම්ලය මාස තුනක් වත් දිනපතා ගැනීම සුදුසුයි.

අපස්මාර රෝගයෙන් පෙලෙන් මවක් ගර්භණී කාලයේ දී කල යුත්තේ මොනවා ද?

ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් අකුරට ම පිලිපදින්න. ඔහු යම් විටෙක ඔබට දුන් බෙහෙත් වෙනස් නොකර දිගටම ලබා දෙනු ඇති. එසේ කරන්නේ එම බෙහෙතෙන් ඔබේ රෝගී තත්වය හොඳින් පාලනය වී තිබෙන්නේ නම් පමණයි. ෆොලික් ඇසිඩ් දිනපතා ගැනීම අමතක කරන්න එපා. සති 12න් anomaly scan සහ සති 25න් පමණ කුසේ සිටින දරුවාගේ හදවතේ Echo පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇති. Alfa Fetoprotien නම් රුධිර පරීක්ෂණයක් ද සාමාන්‍යයෙන් සිදු කෙරෙනවා. දරු උපතට පෙර මාසයක පමණ සිට ඔබට විටමින් K ලබා දෙනු ඇති. එම බෙහෙත් නිවැරදිව පාවිච්චි කරන්න. 

අපස්මාර රෝගයෙන් පෙලේ නම් දරු උපතට කෙසේ මුහුණ දිය යුතු ද?

ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ඔබට සුදුසු ප්‍රසූති ක්‍රමයක් ගැන ඔබට විස්තර කරනු ඇති. සාමාන්‍ය දරු ප්‍රසූතියට අපස්මාරය බාධාවක් නොවෙයි. සාමාන්‍ය ප්‍රසූතියට පෙර අපස්මාරයට බෙහෙත් ගැනීම මඟින් ප්‍රසූතිය අතරතුර රෝගය මතු වීම වලක්වා ගත හැකියි.

අපස්මාර රෝගයෙන් පෙලේ නම් දරු උපතට පසු කල යුත්තේ මොනවා ද?

දරු උපතට පසු ඔබේ දරුවාට විටමින් K ලබා දෙන්නේ රුධිර වහනයන් වැලැක්වීමටයි. මව් කිරි දීමට අපස්මාරය කිසිදු බාධාවක් නොවෙයි. සමහර බෙහෙත් නිසා දරුවාට නිදිමත ගතියක් ඇති විය හැකියි. උපත් පාලන ක්‍රමයක් ගැන සිතා බැලීමට ද අමතක නොකරන්න.

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook