මොකක්ද මේ CTG?

Hits: 4366 times

ඔබේ ගර්භණී සමයේ අග භාගයේ යම් දිනෙක "බබා දඟලනවා අඩුයි", හෝ "බඩ රිදෙනවා" යැයි කියා රෝහලට ගියා ද? එහි දී වෛද්‍යවරු ඔබව කුඩා උපකරනයකට සම්බන්ධ කලා ද? ඔබේ උදරයේ ඉහල කොටසේ එක් තැනකටත් මැද ප්‍රදේශයේ එක් තැනකටත් කුඩා තැටියක් වැන්නක් සම්බන්ධ කර පැයක් පමණ කාලයක් ඔබට ඇඳේ හාන්සි වී සිටින්නට යැයි කීවා ද? එසේ නම් ඔබ මේ කියන CTG පරීක්ෂණයට මුහුණ දී තිබෙනවා. ඔබ බොහෝ විට එම උපකරණයෙන් පිටවන දිග පටියක් වැනි සටහන දිහා බලන්නට ඇති. එහි කුමක් තිබේදැයි කුතුහලයෙන් පසු වන්නට ඇති. බොහෝ විට ඔබ වෛද්‍යවරයාගෙන් අසා දැන ගෙන සෑහීමකට පත් වන්නට ඇති. ඒ අතර ඔබ අතරින් සුළු කොටසක් එම සටහන් කියවා ගන්නේ කෙසේදැයි කුතුහලයෙන් ඉන්නට ඇති. එනිසා අපි අද මේ CTG ගැන කෙටියෙන් විමසා බලමු.

 

CTG කියන්නේ මොකක් ද?

cardiotocogram යන්නෙහි කෙටි යෙදුම ලෙස CTG භාවිතා වෙනවා. එමගින් කුස තුල සිටින දරුවාගේ හදවතේ ක්‍රියාකාරීත්වයත් මවගේ ගර්භාශයේ පේෂි ක්‍රියාකාරීත්වයත් පිලිබඳ අදහසක් ලබා ගත හැකියි.

CTG ගන්නේ කුමන අවස්ථාවල දී ද?

ඔබ ගර්භණී භාවයේ අග භාගයේ දී (එනම් සති 32 ට පමණ පසු) දරු ප්‍රසූතියට හෝ වෙන යම් කාරණයකට රෝහල් ගත වුනොත් CTG පරීක්ෂණයකට ලක් කිරීම සාමන්‍ය සිරිතයි. ඊට අමතර ව දරුවාගේ චලනයන් අඩු වීම, ඔබේ යටි බඩේ වේදනාව, යෝනි මාර්ගයෙන් රුධිර වහනය, උණ වැනි අවදානම් සහගත තත්වයන්හි දී කුස තුල සිටින දරුවාගේ සෞඛ්‍යමත් බව පිලිබඳ ඇගැයීමට මේ CTG භාවිතා වෙනවා.   

CTG ගන්නේ කොහොම ද?

රෝහලේ දී ඔබගේ CTG ගැනීමට අවශ්‍ය වූ විට දී, උපත් ඒකකයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඔබව හෙදියක් එම කටයුතු සිදු කරනු ඇති. පැයකට වඩා වැඩි කාලයක් ඇඳේ හාන්සි වී සිටීමට ඇති නිසා වැසිකිලි යාම වැනි ශාරීරික අවශ්‍යතාවන් සපුරා ගෙන CTG පරීක්ෂණයට යොමු වීම යෝග්‍යයි. ගර්භණී සමයේ අවසාන කාලයේ දී ඔබට උඩුබැලි අතට හාන්සි වීම සුදුසු නොවන නිසා ඔබව CTG උපකරණයට සම්බන්ධ කරන විට දී පමණක් උඩුබැලි අතට සිට ඉන් පසුව වම් ඇලයට හාන්සි වී සිටිය යුතුයි. උඩුබැලි අතට නිදා ගතහොත් ඔබගේ ගර්භාශයෙන් උදර කුහරයේ පිටුපස ඇති ප්‍රධාන රුධිර වාහිනී තෙරපී ඔබට ක්ලාන්ත ගතියක් ඇති විය හැකියි. 

CTG උපකරණයේ තැටි වැනි probes කිහිපයක් තිබෙනවා. එම probe ඔබේ උදරය මත ස්ථානගත කිරීමට ප්‍රථම සිසිල් ජෙල් ස්වල්පයක් එම probe එක මත තවරනවා. Toco probe එක ඔබේ උදරයේ ඉහල කොටස මත ස්ථානගත කරන අතර එයින් ඔබේ ගර්භාෂයේ පේෂි ක්‍රියාකාරීත්වය සටහන් වෙනවා. CTG ගන්නා හෙදිය Cardio probe එක ඔබේ උදරය මත මඳක් එහා මෙහා කරනු ඇති. ඒ ඔබේ දරුවාගේ හදවතේ හඬ හොඳින් ම ඇසෙන තැන හඳුනා ගැනීමටයි. අදාල ස්ථානය සොයා ගෙන ඉලාස්ටික් බඳ පටි මඟින් probe රඳවනවා. දරුවා දඟලන විට එක් වරක් ඔබා ඒ බව සටහන් කිරීමට ඔබේ අතට switch එකක් සහිත උපකරණයක් ලබා දෙනු ඇති. CTG උපකරණයෙන් ඔබේ දරුවාගේ හදවතේ හඬ ඇසෙන නිසා පැයක් පමණ එක ඉරියව්වෙන් සිටීම අපහසු වෙන්නේ නැහැ.

CTG එකේ සඳහන් වෙන්නේ මොනවා ද?

CTG සටහනේ සඳහන් වන්නේ ඉතා ඉක්මනින් ලඟ ලඟ ඉහල පහල යන රේඛාවක්. එම රේඛාවේ රටා හඳුනා ගෙන නිගමන වලට එලඹීම සඳහා ඉතා ඉහල පලපුරුද්දක් අවශ්‍යයි. නාරි හා ප්‍රසව ඒකකයේ වෛද්‍යවරුන්ට ඒ සඳහා විශේෂ පුහුණුවක් හා පලපුරුද්දක් තිබෙනවා.  සරල වශයෙන් සඳහන් කලහොත් දරුවාගේ හදවත ස්පන්දනය වන වේගය, හදවත ස්පන්දන වේගයේ අඩු වීම් හා වැඩි වීම් CTG සටහනේ ඇතුලත් වෙනවා. ඔබට ඇති රෝග ලක්ෂණ, ඔබේ උදරය හා යෝනි මාර්ගය පිරික්සීම (PV) හා CTG සටහන යොදා ගෙන ඔබේ වෛද්‍යවරයා ඉදිරි කරයුතු සැලසුම් කරනු ඇති. සමහර විට CTG සටහන අනුව දරුවා අවදානම් තත්වයක් සිටියි නම් හදිසි සිසේරියන් සැත්කමට පවා මුහුණ දීමට සිදු වනු ඇති.

.......

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

........

 

Loading...

Follow us on Facebook

Join Our Community

Sign in with Facebook